කඩදාසි තීරු වලින් පොඩිත්තන්ට මිනිඔන්ස්

නොවැම්බර් 26, 2018

පුංචි පැටවුන්ට කාටුන් තරම් වටින දෙයක් තවත් නැතිව ඇති. සියලුම කෙළි සෙල්ලම් නවතා දමා, කටත් ඇරගෙන, ඇහිපිල්ලමක්වත් නොහෙලා කාටුන් දිහා බලාගෙන ඉන්න එයාලාට පුළුවනි.

ඇත්තටම කිව්වොත් පුංචි පැටවු විතරක් නෙමෙයි අපේ බොහොමයක් වැඩිහිටියන් ද මේ කාටුන්වලට පුදුමාකාර කැමැත්තක් දක්වනවා.

ඩෝරා, මිකී මවුස්, ටොම් ඇන්ඩ් ජෙරී, මිනිඔන්ස්, ගාර්ෆිල්ඩ්, පින්ක් පැන්තර් ආදී වශයෙන් වූ මේ බොහොමයක් කාටූන් පේපර් කුවිලිං නිර්මාණයක් ලෙසින් අපූරුවට සැකසිය හැකියි. එහෙමනම් පුංචි පුතුට තිළිණ කරන්නට මේ මිනිඔන්ස් හරිම කදිමයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

කහ, සුදු, තද නිල්, ළා නිල්, කළු ආදී වර්ණයන්ගෙන් ඒ4 කඩදාසි පටි

කුවිලිං ටූල් එකක්

කතුරක් සහ ගම්

නිර්මාණය සකසා ගනිමු

ප්‍රථමයෙන්ම වර්ණ කිහිපයකින් අඟලක් පමණ විෂ්කම්භය සහිත ටයිට් කොයිල් කිහිපයක් ඔතාගන්න. එනම් කහ වර්ණයෙන් ටයිට් කොයිල් 05 ක්, තද නිල් පැහැයෙන් 02 ක් සහ කළු පැහැති එකක් වශයෙනි. ඉන්පසුව තද නිල් සහ කළු වර්ණයට මැදිවන ආකාරයට කහපාට ටයිට් කොයිල් 04 ක් අලවාගන්න.

දැන් ඉතිරි කහ සහ නිල් ටයිට් කොයිල් තැටියක් ආකාරයට ඇඟිලිවලින් සකසාගන්න. (03 රූපය) අනතුරුව එය ඇතුළත ගම් ආලේපකර එම කොටස් දෙක කලින් සකසාගත් කොටසට අලවාගන්න.

ඉන්පසුව කළු පැහැති පටි 1/4 ක්, සුදු පටියක් සහ ළා නිල් පැහැ පටි 1/2 ක් එකිනෙක තබා දිගට අලවා ටයිට් කොයිල් එකක් සකසාගන්න. අනතුරුව පරිදි එය කළු ඹ්ඪදඥ එක මැදිවන පරිද්දෙන් අලවාගන්න.

දැන් අපි මිනිඔන්ස්ගේ පාද සකසා ගත යුතුය. ඒ සඳහා තද නිල් පැහැ ඒ4 කඩදාසි පටියකින් ටයිට් කොයිල් එකක් සාදාගන්න. කළු වර්ණයේ ට්‍රියර්ඩ්‍රොප් හැඩය සකසාගන්න. මෙවැනි කොටස් දෙකක් අවශ්‍ය අතර ඒවා පාද ලෙසින් අලවන්න.

සෙන්ටිමීටර් 01 ක් උස 02 ක් දිග තද නිල් පැහැති පටි කැබැල්ලක් ගෙන එය අලවාගන්න. ඒප්‍රන් එකක් ආකාරයට පෙනෙන ලෙසින් සිහින් තද නිල් පැහැ පටියක් නිර්මාණය වටා අලවාගන්න. අනතුරුව මිනිඔන්ගේ දෑත සඳහා සෙන්ටිමීටර් 03 ක් දිග 02 ක් පළල කහ පැහැයේ කඩදාසි කැබැලි දෙකක් රෝල්කර සකසා නිර්මාණයට තබා අලවන්න. කළු පැහැති පෑනකින් බොත්තම් සහ ඉදිරිපස දැක්වෙන සලකුණ ද සටහන් කර ඇඳුම හැඩවැඩ කරගන්න.

උපදෙස් පේපර් කුවිලිං නිර්මාණ ශිල්පී

පී. එම්. ප්‍රසන්න