බිත්ති සැරසිල්ලට අනගි දසුන්

ජනවාරි 2, 2019

පේපර් කුවිලිං කලාවෙන් මොනතරම් ලස්සන නිර්මාණය කළ හැකිදැයි මෙය දුටු විට ඔබටත් සිතේවි. අවානක් සහ එය කලඑළි කළ මල් කුමරියන්ගේ හැඩ බලන්නකෝ. බිත්ති සැරසිල්ලකට ගැළපෙන මෙවැනි නිර්මාණ ඔබටත් පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

වෙළෙඳ පොළෙන් ලබාගත් අවාන්

වර්ණ කීපයකින් ඒ4 කොළ

ඒ4 බෝඩ්

ග්ලූ ගන් එකක්

නිර්මාණය කිරීම

අප පළමුව නිල් පැහැති මල් සහිත අවාන් සැරසිල්ල නිර්මාණය කර ගනිමු. එහිදී පළමුව ඔබ පසුබිම සඳහා තෝරාගත් කාඩ් එක ගෙන එහි මැදින් අවාන තබා අලවා ගන්න. ඉන්පසු එහි උඩින් මෙම මල් අලවා ගත යුතුයි. එහිදී පළමුව ඒ4 කොළයකින් රවුමක් කපා ගන්න. ඉන්පසු නිල් පාට ඒ4 කොළයකින් අඟල් 1/8 පළල පටි තීරු කපාගන්න. එම පටි තීරු දෙකක් දිග පැත්තෙන් එකට අලවා ලූස් රෝල් එකක් සාදා ගන්න. දැන් එම ලූස් රෝල් එක දෙපසින් ඇඟිලි තුඩු මඟින් තදකර මාකිස් හැඩයක් සාදා ගන්න. දැන් ඒ අයුරින් සාදාගත් මාකිස් හැඩ කීපයක් ගෙන ඉහතින් කපාගත් රවුම වටේට තබා අලවා ගන්න. එහි උඩට එනම් රවුමේ ඇතුළට වන්නට තවත් පෙති පේළියක් අලවන්න. ඒ ආකාරයට පෙති පේළි තුනක් ඇතුළට අලවන්න. උඩටම තනි මාකිස් හැඩයක් අලවන්න. මෙහි එක් මලකට මාකිස් හැඩතල 100 ක් පමණ සාදා ගත යුතුයි.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.