අලි රුව ගෙනෙන තේජස

මැයි 8, 2019

ලාංකික අනන්‍යතාව කියාපාන අපේම පැච්වර්ක් කලාවක විසිතුරයි මේ. කුෂන්, බිත්ති සැරසිලි ආදියට සුන්දරත්වයක් ගෙන දෙන්නට ඔබටත් මේ කලාව උපකාර කරගත හැකියි.

එපමණක් නොව මෙය හොඳ වෙළෙඳපොළක් ද සපයා දෙන්නකි. ඒ නිසා දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන පැතිවල වෙසෙන ඔබට අතමිට සරුකරගන්නට මෙමඟින් අවස්ථාව උදාකර ගත හැකියි. විදේශ වෙළෙඳපොළට අපනයනය සඳහා ද නිර්මාණය කළ හැකියි. ජාතික ශිල්ප සභාව, ලක්සල වැනි ආයතනවලට අලෙවි කරන්නත් පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අමු රෙදි හෝ ලිනන් රෙදි

බතික් රෙදි කැබලි

තනි පාට විවිධ වර්ණ රෙදි

පොප්ලින් රෙදිවලින් කපාගත් කර්ණාකාර පටි

අල්පෙනෙති

කැරැලි නූල්, ඉඳීකටු

පතරොම් සැකසීමට කාඩ්බෝඩ්

පැන්සලක්

කතුරක්

 

නිර්මාණය කිරීම

පළමුව ඔබ කරන්නට යන නිර්මාණයේ ප‍‍්‍රමාණය තීරණය කරන්න. ඉන්පසු අප ලබා දී ඇති රූපයෙන් දළ සටහනක් සකසා එය අවශ්‍ය ප‍‍්‍රමාණයට විශාල කරගන්න. එය කොටස් කර කාඩ්බෝඩ්වල ඇඳ පතරොම් සකසාගන්න.

එම පතරොම් භාවිත කර බතික් රෙදිවලින් හා තනි පාට රෙදිවලින් අවශ්‍ය කොටස් කපාගන්න. බිත්ති සැරසිල්ලේ හෝ කුෂන් කවරයේ රෙදි කොටස ගෙන එහි අවශ්‍ය ප‍‍්‍රමාණයට විශාල කරගත් අලියාගේ දළ සටහනක් ඇඳගන්න. ඒ මත කපාගත් රෙදි කොටස් ගෙන අල්පෙනෙති ගසා රඳවාගන්න. නැත්නම් නූල් ඇදගන්න.

පසුව කර්ණාකාර පටි ගෙන දෙපැත්ත ඇතුළට නමා රෙදි කොටස් දෙකක් එකට හමුවෙන තැන්වලින් තබා අල්පෙනෙති ගසන්න.

පසුව එම රෙදි කොටස්වලට ගැළපෙන වර්ණයෙන් කැරැලි නූල් දෙපොටක් ගෙන මැස්සා මැස්මෙන් ඇප්ලික් කරගන්න. මෙහිදී එක දිගට මැස්සා මැස්ම මසන්නේ නැත. මැහුම් එක එක දමාගෙන යා යුතුයි.

අලියාගේ කකුල් බ්ලැන්කට් මැස්මෙන්, නැටි මැස්මෙන් හා ෆ්ලයි මැස්මෙන් මසා හැඩකර ගන්න. තැනින් තැනට ප‍‍්‍රංශ ගැටය බැඟින් මසා තිබේ. හොඬවැල සහ හිසේ කොටස් හැඩකර ඇත්තේ ද බ්ලැන්කට් මැස්මෙනි. හිස ඉදිරිපස රේඛා සඳහා නැටි මැස්ම ද භාවිතයට ගෙන තිබේ.

ඇඟට දමා ඇති රෙද්ද හැඩ කිරීමට භාවිත කර ඇත්තේ ද ෆ්ලයි මැස්ම හා බ්ලැන්කට් මැස්මයි. මල් හැඩ සියල්ල මසා ඇත්තේ ද බ්ලැන්කට් මැස්මෙනි.

බතික් රෙදිවල ඇති මෝස්තර කැපී පෙනෙන ලෙස බ්ලැන්ට් මැස්මෙන් මසා ඇත. සම්පූර්ණ නිර්මාණය සඳහාම භාවිත කර ඇත්තේ බ්ලැන්කට් මැස්ම, නැටි මැස්ම, ෆ්ලයි මැස්ම සහ ප‍‍්‍රංශ ගැට මැස්ම පමණි. එහෙත් ඔබට කැමැති ලෙස විවිධ විසිතුරු මැහුම් යොදා මෙය අලංකාර කරගත හැකියි.

මෙම නිර්මාණ හොඳීන් නිරීක්ෂණය කිරීමෙන් මැහුම් යොදා එය අලංකාර කර ඇති අයුරු වටහාගන්න. මෙය කුෂන් කවරයකට භාවිත කරන්නේ නම් අඟල් 16×16, 18×18 ආදී ප‍‍්‍රමාණවලට සකසාගන්න. පිටපළු ද සකසා ඔබට කුෂන් එක නිර්මණය කරගත හැකියි.

බිත්ති සැරසිල්ලක් සඳහා නම් අඟල් 18×18 ප‍‍්‍රමාණයට සකසා වටේට වෙනත් පැහැයක අඟල් 3 ක් හෝ 4 ක් පළල පටි අල්ලා ගන්න. බිත්තියේ රැඳවීමට ලූප්ස් සකසාගන්න. බලන්න, මොනතරම් ලස්සන නිර්මාණයක් ද කියා.

2019/05/08 තරුණි බලන්න