මැජික් කුවිල්ට් විස්කම්

දෙසැම්බර් 4, 2019

සැරසිලිවලින් පිරුණු නත්තලේ රිජිෆෝම්වලින් හරි අපූරු ත‍‍්‍රිමාණ නිර්මාණ බිහිවී ඇති අරුමය බලන්න. නත්තල් ගසේ හැඩට පමණක් නෙමෙයි මුළු නිවෙසටම නත්තල් සිරියාව කැඳවන්නට මේ නිර්මාණ සමත්.

වාහනවලට, කාර්යාලවලට ආදී ඕනෑම ස්ථානයකට මේවා කදිමයි. තිළිණ හැඩකරන්නත් අගෙයි. මැජික් කුවිල්ට් ක‍‍්‍රමය අනුව ඔබටත් මෙම අනගි නිර්මාණ නිමකර ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

 

රිජිෆෝම්වලින් සාදාගත් බෝල, සීනු, හදවත් ආදී ඔබට අවැසි හැඩයන්

වර්ණවත් මුද්‍රිත රෙදි

සීකුවින්ස්, පබළු, කෝඩ් නූල්, රිබන්

හොඳීන් කැපෙන කුඩා පිහියක්

ගම්, කතුර

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

ඔබට අවශ්‍ය හැඩයට රිජිෆෝම් බෝල, සීනු, හදවත් තරු ආදිය කපාගන්න. එම හැඩ මත කැමැති මෝස්තරයක් ඇඳගන්න. එම මෝස්තරය මත ටෙ‍‍්‍රසිං කඩදාසි තබා අල්පෙනෙති ගසාගන්න.

පසුව පෑනෙන් මෝස්තරය කඩදාසියට පිටපත් කරගන්න. කඩදාසිය ගලවා වටේට මැහුම් වාසි තබා පතරොම් සාදාගන්න. ඒවායින් රෙදි කොටස් කපාගන්න.

සිහින් පිහි තුඩෙන් රිජිෆෝම් බෝලයේ ඇති මෝස්තරය තරමක් ඇතුළට කපාගන්න. පසුව රෙදි කොටස් ගම් ගා අලවා මැහුම් වාසි පිහි තුඩෙන් කපාගත් ස්ථානවලින් ඇතුළට ඇතුළු කරන්න.

මෝස්තරය ඇඳී, පිහිතුඩෙන් කපාගත් රේඛා වැසෙන්නට කෝඩ් නූල් අලවාගන්න. සීකුවින්ස්, පබළු ආදිය අලවා හැඩ කරගන්න. රිබන් හෝ කෝඩ්වලින් ලූප් සාදා උඩින් අල්ලන්න. රිබන්වලින් බෝ සකසා බෝලය උඩින් හෝ අදාළ හැඩය උඩින් අලවාගන්න. මෙහි මෝස්තර ඇඳීමේ දී ඒවා නියමාකාරයට ප‍‍්‍රමාණ කරගත යුතුයි.

ඒ සඳහා ටේප් පටියක් භාවිත කරන්න. අංක1 සිට 13 දක්වා පිළිවෙළට ලබා දී ඇති පින්තූර හොඳීන් බලා මෙම නිර්මාණ කරන විදිහ තවත් හොඳීන් පැහැදලි කරගන්න. අප ඔබට මෙම මැජික් ක්වීල්ට් ක්‍රමය පැච්වර්ක් කලාව පාඩමෙන් පෙර දී පැහැදිව පහදා දී ඇත.

2019/12/04 තරුණි බලන්න