‘නැහැ’, ‘බැහැ’ ඔබේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න

දෙසැම්බර් 18, 2019

ඔබේ හිතේ දලුලා වැඩෙන ව්‍යාපාරික අදහසේ අපූර්වත්වය යථාර්ථයක් කිරීම අපේ අරමුණයි.

ඒ අනුව ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව සංවර්ධනයේ මහගෙදර ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (ඉඡ්ච්) හා එක්ව තරුණී පුවත්පත දිරියට සවියක්හි ‘ඉසුරු ළඳුන්’ දෙවැනි වැඩමුළුව පසුගියදා අතිසාර්ථකව ගම්පහ දී පැවැත්විණි. එහිදී දිරිය ලියන් දිරිගැන්වීමේ අරමුණින් ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත් මහතා පැමිණ සිටි පිරිස මෙසේ ඇමතීය.

තරුණී පුවත්පත කුඩා ව්‍යාපාර අංශය හා සම්බන්ධ වී මෙවැනි භාරදූර කටයුත්තක් කරගෙන යාම පිළිබඳ මා පළමුව හෘදයාංගවම ස්තූතිය පළකරනවා. මම මගේ ජීවිතය තුළත් ඉතා ආසාවෙන් හා කැමැත්තෙන් කියවපු පුවත්පතක් තමයි තරුණී. මගේ සහෝදරිය සෑම සතියකම තරුණී පුවත්පත ගෙදර ගෙන එනවා. ඒ මතකය 70 සහ 80 දශකයේයි. දැන් අන්තර්ජාල පහසුකම් තියෙනවා. නමුත් පුවත්පතකින් ලැබෙන දැනුම, වින්දනය නිවේදනයේ සත්‍යතාව වෙනත් කිසිදු මාධ්‍යයකින් සාර්ථකව ලබාගත නොහැකියි. තවත් අතකින් ඒ කාලේ පත්තරයක් ගන්න නගරයට යා යුතුයි. ඒ ගේන පත්තරය පුරා සතියක් කියවනවා. කෙටි කතා, චිත්‍ර කතා. අත්දැකීම් ආශි‍්‍රතව ලියැවුණු ලිපි, මැහුම්, අත්කම් ඇතුළු බොහොම අර්ථවත්.

ලිපි ගණනාවක් අන්තර්ගතයි. වර්තමානයේ ඒ තත්ත්වය තවත් වැඩි දියුණුකර ගනිමින් තරුණී ව්‍යවසායකයන්ට අත්වැල් සැපයීමටත් රටේ සංවර්ධනයට දායකවීමටත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳ ඇගයිය යුතුයි.

ස්වයං රැකියාවල දැනට නියුතු හා ඊට අනුගතවීමට පෙරමං බලා සිටින අපේ කාන්තාවන්ට කූට සංවිධානවලට හසු නොවීමට වගබලා ගනිමින් රාජ්‍ය අමාත්‍යාංශයක් හා එක්ව මේ කටයුත්ත සිදුකිරීම ඉතා අගනේය.

කාන්තා ඔබ මේ විශ්වයේ බිහිවූ අපූරුවතම වස්තුවකි. ජීවිතයේ විවිධ කඩඉම් ඔබ පසුකරනවා. දියණියක්, බිරියක්, මවක් යන කාර්යභාරයන් ඒ අතරින් සුවිශේෂීයි. අම්මා... ඇය පවුලේ ශක්තියයි.

දරුවෙක් නින්දෙන් අවදි වන්නේත් අම්මා.. කියමින්. යළි නින්දට යන්නේත් අම්මා සමඟින්. මේ බැඳීම ලෝකයේ අපූර්වතම මානව බැඳීමයි. ඒකට සුවිශේෂී හේතු කාරණා රාශියක් තියෙනවා ඇගේ භූමිකාව ශක්තිමත්ව ඉතා පුළුල් පරාසයක් තුළ විස්තීරණය කරන්නට මේ ලබාදෙන අත්වැල අගනේයි.

ශ්‍රී ලාංකේය සමාජය පීතෘ මූලික සමාජයක්. ඒ කොහොම වුණත් පවුලක මුල්තැන මවට හිමිවනවා. ගෙදරක සිටින කාන්තාවක් වුව ‘එයා ගෙදර නිකම් ඉන්නෙ’ මෙහෙම අපිට කියන්න බැහැ. මොකද සැමියා රැකියාවට ගිහින් කරන කාර්යයට වඩා ලොකු රාජකාරියක් ඇය නිවෙසේ ඉඳන් කරනවා.

ඒ කාර්යභාරයට වටිනාකමක් දීම ‘ඉසුරු ළඳුන්’ වෙතින් සිදුවෙනවා. කාටත් වඩා සකසුරුවම්කමට ඉදිරියෙන් සිටින ඇය සාර්ථක ව්‍යවසායිකාවක් කිරීම බෙහෙවින් වටී. ඇගේ හිතේ ව්‍යවසායකත්ව ගුණය ජනිත කිරීම, ව්‍යාපාර සැලසුම් කිරීමට නව අදහස් ලබාදීම, නිෂ්පාදන හා සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට සහය වීම, වෙළෙඳපොළ හඳුන්වා දීම වැනි කටයුතු තුළින් ඇය ශක්තිමත් කළ යුතුයි.

එමෙන්ම ව්‍යවසායිකාවක් වන්නට පෙරමං බලාසිටින ඔබට මා කියන්නට කැමැතියි ඔබ නැහැ, බැහැ කියන වචන වාග් කෝෂයෙන් ඉවතලන්න. ඉතා සුළුවෙන් යමක් පටන් ගන්න. කාන්තා ඔබේ ශක්තිය පවුලට, රටට පෙන්වන්න.

 

ඡායා - ටෙනිසන් එදිරිසිංහ