ගම්පේස්ට්වලින් නත්තල් ගසක් සහ පොයින්ට්සෙටියා මල්

දෙසැම්බර් 25, 2019

නත්තල උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. නත්තල් සාදයට පැමිණෙන අමුත්තන් වෙනුවෙන් සකස් කරන නත්තල් කේක් එක සැරසීමට සුදුසු නත්තල් ගසක් සහ පොයින්ට්සෙටියා මල් ගම්පේස්ට්වලින් සකසා ගන්නා ආකාරය පිළිබඳවයි මෙවර දැනුවත් කිරීම.

නත්තල් ගස

පළමුව කොළ පාටින් ගම්පේස්ට් අයිසින් ගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණයට නත්තල් ගසේ උස තිබෙන ලෙස කෝන් එකක් හැඩයට සකසාගෙන එය බාබකිව් ස්ටික් (BBQ stick) එකක රඳවා ගන්න. ඉන්පසු කුඩා කතුරකින් එම කෝන් එකේ උඩ සිට වටය පහතට කපාගෙන නත්තල් ගසේ හැඩය ගන්න. එය වියළුණු පසු ඔබට අවශ්‍ය ආකාරයට නත්තල් ගසට කැමති පරිදි සැරසිලි රඳවාගන්න. ඒ සඳහා edible petals ටිකක් සහ නත්තල් ගස ඉහළින් රඳවාගත් කුඩා රන්වන් පාට තරුවකින් යොදාගෙන තිබේ.

පොයින්ට්සෙටියා මල

මල් සකසා ගැනීමේදී මුලින්ම මලේ මැද කොටස සඳහා අවශ්‍ය වන කුඩා රේණු සකසා ගන්න. ඒ සඳහා ඇති විවිධ ක්‍රම අතරින් සරලම ක්‍රමය මෙයයි. කුඩා කම්බි අගට අයිසින්වලින් ඉතා කුඩා මල් රේණු සකසා ගන්න. මේ සඳහා කහ පාට හෝ ගෝල්ඩ් වර්ණ ගල්වා වියළා ගන්න.

මල් සාදා ගැනීමට රතු පාට ගම්පේස්ට් අයිසින් ගෙන poinsettia මල් cutter එක භාවිත කර හෝ ඒ හැඩයට පෙති කපාගෙන කම්බියක් රඳවා ගන්න. පොයින්ට්සෙටියා මල් පෙති සැකසීම සඳහාම ඇති මෝල්ඩ් මේ සඳහා භාවිත කළ හැකි අතර එසේ නැතිනම් මලේ පෙත්ත හරහට යන්තමින් ඉරි ලෙස ඇඳීමෙන් මලේ ස්වභාවික පෙනුම ඉස්මතු කරගත හැකියි.

පොයින්ට්සෙටියා මලක් සෑදීම සඳහා ප්‍රමාණ තුනකින් මල් පෙති අවශ්‍ය වන අතර ඉන් කැමති ප්‍රමාණ දෙකකින් හෝ තුනකින් පෙති 5 බැගින් කපාගෙන කම්බි රඳවා ටූල් කර වියළා ගන්න.

මල නිර්මාණය කරගැනීමේදී පළමුව මල් රේණු කොටසට කුඩා මල් පෙති වටය එකතු කරන්න. ඊළඟ මල් පෙති වටය එකතු කිරීමේදී කලින් එකතු කළ පෙති දෙකක් අතරින් යට මල් පෙත්ත දිස් වන පරිදි පෙති රඳවා ගන්න.

කොළ සකසා ගැනීමේදී මල් පෙති කපාගත් කටර් එක ආධාරයෙන්ම කොළ පාට අයිසින්වලින් කොළ තුනක් කපා කම්බි රඳවා ටූල් කර වියළා ගන්න. පසුව මලට සමබර වන ලෙස කොළ තුන එකතු කර මල නිමා කරගන්න. මේ ආකාරයට මල් සහ කොළ සාදාගෙන ඔබට අවශ්‍ය පරිදි නත්තල් කේක් එක සරසා ගත හැකිය. අවශ්‍ය නම් නත්තල් කෑම මේසය සඳහා මල් සැරසිල්ලක් සකස් කරගැනීමටද මෙම මල් සහ කොළ භාවිත කළ හැකිය.

[දිනේෂි අමරකෝන්]