වෙසක් රාත්‍රිය ලස්සන කරන අලුත් කූඩුවක් නිර්මාණය කරමු

මැයි 6, 2020

උදාවන වෙසක් සඳ හරිම ලස්සනයි. නිසංසල. එහෙත් වෙනදාට වඩා පරිසරය නිහඬයි. මේ නිහැඩියාව අතරින් මිනිස්සු ජීවිතයේ අධ්‍යාත්මික සුවය අත්විඳිනවා. සැබෑ වූ බුදු දහමේ අර්ථය කියාදෙන මේ පාඩම මුළු ලෝකයටම දැනෙන කාලයක්. එහි නියම ඵල නෙළා ගන්න සිතන ඔබට මේ වෙසක් සමය ස්වර්ණමය කාල පරාසයක්.

තම පවුල් කුටුම්භය තුළ කොටු වුණ බොහෝ දෙනෙක් මේ දිනවල තම පවුලේ දුවා දරුවන් සමඟ නිවෙසට වී කාලය ගත කරනවා. දින ගණන් ගෙවී වෙසක් දිනයත් ළඟා වෙලා. මේ වෙසක් පෝය අප සැමටම විශේෂයි. වෙනදාට වන්දනා ගමන් ගියාට දන්සල් දෙන්න ලක ලැහැස්ති වුණාට වෙසක් කූඩු, තොරණ හැදුවාට මෙවර එවැනි දේ කරන්න ඉඩක් නෑ.

නමුත් පවුලේ සැම දෙනාම එකතුවෙලා ගෙදර ඉඳිමින් වෙසක් උත්සවය සමරන්න ලැබීමත් අප ලැබූ වාසනාවක්. වෙනදට ‍වෙසක් දිනය ළං වෙනකොට බොහෝ දෙනෙක් දරුවන්ට වෙසක් සැරසිලි ටිකක් වෙසක් කූඩුවක් කඩෙන් ගෙනත් දෙනවනෙ. එහෙම නැතිනම් බට කෝටු ටිකක් කපල වෙසක් කූඩුවක් හදනවා. මේ වෙසක් දිනයට ඒ වගේ ඇවිදින්න අපිට අවස්ථාව නැහැ. මෙවැනි මොහොතක වැඩිහිටියන් ලෙස තමුන්ගේ නිර්මාණාත්මක හැකියාවෙන් අලුත් යමක් කරන්න පුළුවන්. ගෙදරින් ඉවත් කරන දෙයක් ප්‍රයෝජනයට ඇරගෙන වුණත් අපූරු නිර්මාණ කරන්න පුළුවන්.

නිවෙසේ ඉවත් කරන දෙයින් ප්‍රයෝජනයක් ඇරගෙන අපූරු නිර්මාණ කරන නිර්මාණකරු තරුණිට හමු වුණා. කරවනැල්ල මූලික රෝහලේ රෝගී උපස්ථායකයෙකු ලෙස සේවය කරන නිහාල් අබේසිං නම් ඔහු දක්ෂ නිර්මාණකරුවෙක්. අවුරුදු ගණනාවක් පුරාවට වෙසක් දිනයේදී කරවනැල්ල මූලික රෝහල ඔහුගේ සැරසිලි වලින් ආලෝකවත් වන්නේ හරි අපූරුවට. නිහාල් මහතා කරන නිර්මාණ අතරින් එක් නිර්මාණයක් කර ගන්නා ආකාරය ඔබට අප මෙවර ඉදිරිපත් කරනවා. එය ඔබටත් අලුතින් යමක් සිතන්නට නිර්මාණය කරන්නට කදිම අවස්ථාවක් වේවි. ඔහු මේ නිර්මාණය කළේ ඉවත් දමන අයිස්ක්‍රීම් බඳුන් (Ice cream tub) කිහිපයක් යොදා‍ගෙන. ඒ සඳහා ඔහුට අවශ්‍ය වුණේ හොඳින් කැපෙන බ්ලේඩ් තලයක් පමණයි.

 මුලින්ම එම බඳුනේ හරස් අතට දිග තීරු කපා ගන්න.

 එසේ කපා ගන්නා විට මෙහි පෙනෙන ලෙස එම බඳුනේ දෙපස (උඩ සහ යට) අඟල් 2ක් තරම් ප්‍රමාණයක් ඉතිරි කරගත යුත්තේ එසේ කපාගත් තීරු සම්පූර්ණයෙන් ඉවත් නොවන ලෙස රඳවා තබා ගැනීමටයි.

 දැන් මෙම තීරු එකක් හැර එකක් මැදින් කපා ගන්න.

 එසේ කැපූ කැපුම් ඉහළ දාරයේ සහ පහළ දාරයේ හරස් අතට යෙදූ කැපුමක් මගින් එළියට ගෙන රඳවන්න.

 දැන් මෙම බඳුනේ පියන රහිත කොටස ගෙන විදුලි බල්බය දැල්වීම සදහා ප්‍රමාණවත් රවුමක් කපා ගන්න.

 එම රවුම වටා ඔබට කැමති පරිදි නිර්මාණයක් කපා ගන්න.

 එසේම එම බඳුනේ යටි පතුලේද ඒ ආකාරයෙන්ම නිර්මාණයක් කර ගන්න.

 මෙ ආකාරයට නිර්මාණය කළ පසු මෙම වෙසක් කූඩුවේ අලංකාරය කෙතරම් ලස්සනදැයි බලන්න.

ඔබ හැමදාමට කඩෙන් ගෙනත් දෙන බකට් එකකටත් වඩා මේ කූඩුව කෙතරම් ලස්සනද? ඔබ නිවසේ ඉවත් කරන මෙවැනි බඳුන් කෙතරම් ඇතිද? එවැනි බඳුන් ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි නිර්මාණ කරන්න ඔබටත් මෙය කදිම අවස්ථාවකි.

විශේෂයෙන්ම අපගේ ගෘහණියන්ට මෙවැනි බොහෝ දේ නිර්මාණය කරන්න හැකියාව ඇති බව අපි දන්නවා. ඔබත් එවැනි අලුත් නිර්මාණ කරන්න. එවැනි නිර්මාණ ඡායාරූපයක් ගෙන අප වෙත එවන්න.

 

උපදෙස් හා ඉදිරිපත් කිරීම

නිහාල් අබේසිංහ

මූලික රෝහල කරවනැල්ල.