උණ බටයෙන් විස්කම් නිර්මාණ

ජූලි 8, 2020

සොබාදහම මිනිසාට අසීමිත සම්පත් රැසක් තිළිණකර තිබෙනවා. එහෙත් මිනිසුන් සොබාදහම විනාශකරමින් එය අභිබවා යන්නට උත්සාහ කරයි. එහි අවසන් ප්‍රතිථලය තමාවම විනාශ වීම බව තවමත් අපේ මිනිසුන් තේරුම් අරගෙන නැත.

කොරෝනා මුළු ලෝකයටම මේ පාඩම තේරුම් කරවන්නට උත්සාහ කළ ද එය තේරුම් ගත්තේ අතළොස්සකි. ඒ අතළොස්ස අතරට ඔබත් එක්වී මේ මිහි මව ඔබේ දරුවන් වෙනුවෙන් සුරකින්නට එක්වන්න.

කෘත්‍රිම දේවල් මිහිකතත් ඔබත් දිනෙන් දින විනාශ කරන්නේ යළි පිළිසකර කළ නොහැකි ලෙසටය. ප්ලාස්ටික් අද මුළු ලෝකයටම භයානක වසංගතයක් වී අහවරය. එය අඩු කළ හැක්කේ ද ඔබටයි. උණ ගස් යනු ඉක්මනින් හා සුලභව වැවෙන ශාක වර්ගයකි. චීන ළඳුන් උණ ගස් කපමින් විවධ දෑ නිර්මාණය කරයි. එවැනි වීඩියෝ ඔබත් දකින්නට ඇත. මේවායින් අපට ඉගෙන ගත හැකි පාඩම් ද බොහෝය. බොහෝ අය සිතන්නේ උණ ගස්වලින් ගන්නට තරම් ප්‍රායෝජනයක් නොමැති බවය. එහෙත් උණ ගස්වලින් කළ හැකි නිර්මාණ අපමණය. නිවෙසට අත්‍යවශ අංග රැසක් උණ බටවලින් නිර්මාණය කළ හැකියි. මේවා නිර්මාණය කළ හැක්කේ පිරිමි අයට පමණක් යැයි සිතන අය ද වේ. එහෙත් ඔබ නිර්මාණශීලී නම් උත්සාහවන්ත නම් මෙවැනි දේවල් නිර්මාණය කරන්නට කාන්තා ඔබට ද හැකියි. දැන් රජයේ වඩු පාසල් ද ඇති අතර මේවාට කාන්තාවන් ද බඳවා ගෙන පුහුණුව ලබා දේ. ජාතික ශිල්ප සභාවෙන් ද මෙවැනි පුහුණු වැඩමුළු පවත්වයි. එවැනි ආයතනයකින් ඔබටත් පුහුණු විය හැකියි.

මෙවැනි දෑ නිර්මාණය කරන්නන්ට දේශීය වෙළෙඳපොළක් මෙන්ම හොඳ විදේශීය වෙළෙඳපොළක් ද ඇත. අපේ රටේ සමහර දිරියවන්ත මිනිසුන් දැනටමත් සොබාදහමට අනුගත වෙමින් සොබාදහමෙන් සුරකින නිෂ්පාදන වෙළෙඳපොළට එක්කරමින් හිඳී. ඒ අතර උණ බටවලින් කළ නිර්මාණ ද වේ. එහෙත් බොහොමයක් අයට උණ බටවලින් කළ හැක්කේ මොනවාදැයි සිතා ගැනීමට අපහසු වී ඇත. ඒ සඳහා ඔබට අදහස් පෙළක් ලබා දී ඔබව උනන්දු කිරීමයි අපේ වෑයම. අප ඉදිරිපත් කරන මෙම නිර්මාණ උණ බටවලින් කළ අගනා නිර්මාණයන් ය. හැඳි, ගෑරුප්පු, පිඟන්, කෝප්ප, පුටු, ටීපෝ, භාණ්ඩ රඳවන, විසිතුරු නිර්මාණ ආදී බොහෝ දෑ ඒ අතර වේ. පරිසර හිතකාමී මේ දේවල් භාවිතය ඔබේ සෞඛ්‍යයට වගේම පරිසරයටත් හොඳයි. ඒ නිසා මෙම නිර්මාණ කරන්නට උණ ගස් කපනවා වගේම උණ ගස් වවා සොබාදහම රැකගන්නත් දායක වන්න.

මේ දිනවල නාත්තණ්ඩිය මොරකැලේ රජයේ වඩු පාසලට නොමිලයේ සිසුන් බඳවා ගන්නා අතර ඒ සඳහා ගැහැනු ළමයින්ට ද ඉල්ලුම් කළ හැකියි. මසකට රුපියල් 8000 ක දීමනාවක් ද හිමි වේ. පාසලෙන් ලබාගත් අස්වීමේ සහතිකය සහ ජාතික හැඳුනුම් පතත් රැගෙන නාත්තණ්ඩිය හා මාරවිල පදිංචි ඔබට මෙයට සහභාගී වන්න පුළුවන් කුරුණෑගල පිහිටි කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් 037 2222719 අංකයට අමතා මේ පිළිබඳ විමසන්නට හැකියි.