දම් පැහැයෙන් දිදුලන ජැපනීස් වයලට්

ඔක්තෝබර් 14, 2020

බ්‍රසීලියන් මල් රටා

මැහුම් පොත ඔබේ මැහුම් දැනුම දියුණු කරගන්නටයි. පසුගිය සතියක අප මැහුම් පොත අවසන් කළේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවේ මැහුම් ක්‍රම හඳුන්වා දෙන්නයි. අද අපි එම මැහුම් ක්‍රම භාවිතයෙන් මල් වර්ග කිහිපයක් මසන ආකාරය විමසා බලමු.

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා

බ‍‍්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවේ සුන්දර මල් කුමරියක් වන දම් පැහැ ජැපනීස් වයලට් මල් මෙලෙස මසමු. සුන්දරත්වයෙන් අනූන මේ මල් පොකුරු ඇඳුම්, ටීපෝ කවර, කුෂන් ආදී විවිධ නිර්මාණ හැඩකරන්නට කදමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

දම් වර්ණ කිහිපයක හා කොළ වර්ණ කපු

කැරැලි නූල් හෝ රෙයොන් නූල්

සුදු පබළු හෝ කහ කැරැලි නූල්

නොම්බර 18, 20, 22 ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

රාමුව

දිග ඉඳීකටුව (ඩාර්නිං ඉඳීකටුව)

ලිනන් රෙදි හෝ වෙනත් කපු මිශ‍‍්‍ර රෙදි වර්ගයක්

නිර්මාණය කිරීම

පළමුව රෙදි කොටස මත මෙම මල් ඉත්තක දළ සටහනක් ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළයක් ආධායෙන් රෙදි කොටසට පිටපත් කරගන්න. මල් පෙති මැසීම සඳහා බුලියන් මැස්ම භාවිතකර ඇත. මල් මසන ආකාරය දැන් බලමු. පළමුව මලක් සඳහා කුඩා රවුමක් අඳීන්න. එය සමාන කොටස් පහකට වෙන්කර ගන්න. මෙම මල මැසීමට දිග ඉඳීකටුව භාවිත කරන්න. දැන් ඉඳීකටුවට නූල් පොටවල් තුනක් හෝ හතරක් අමුණාගන්න. රවුමේ සලකුණු කළ එක් ස්ථානයකින් ඉඳීකටුව පිටතට ගෙන එයට ආසන්නයෙන්ම ඇති ස්ථානයෙන් ඇතුළට ගසා නැවත පළමු ස්ථානයෙන් පිටතට ගෙන නූල ඉඳීකටුව වටා 45 වරක් පමණ ඔතා ඇඟිලිවලින් අල්ලා ඇද බුලියන් මැස්මක් දමන්න. මේ ආකාරයට පෙති පහම සලකුණු කළ ස්ථානවලින් ඉඳීකටුව ගසමින් බුලියන් පෙති මසාගන්න. ඇතුළත ඇති පෙති සඳහා පළමු පෙති මැදින් ඉඳීකටුව ගසා නූල ඉඳීකටුව වටා වට 40 ක් පමණ ඔතා බුලියන් මැස්ම දමාගන්න. මේ ආකාරයට ඇතුළත පෙති ද මසාගන්න. මෙහිදී තද දම් හා ළා දම් මල් පෙති සඳහා භාවිත කළ හැකියි. අප යට පෙති සඳහා තද දම් ද උඩ පෙති සඳහා ළා දම් ද භාවිත කළෙමු. මලේ මැදට තහ පැහැ කැරැලි නූලෙන් ප‍‍්‍රංශ ගැට දමාගන්න. නැත්නම් සුදු පබළු පහ බැගින් අල්ලාගන්න.

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.