පිපී හිනැහෙන ටියුලිප් මලක ආකර්ෂණය

ජනවාරි 13, 2021

මල් ලෝකයේ තිබෙන තවත් අපූරු මලක් ලෙස ටියුලිප් මල හැඳීන්විය හැකියි. නෙක වර්ණවලින් පිපී හිනැහෙන වට මුළු පරිසරයම හරිම ආකර්ෂණීයයි.

ඒ ආකර්ෂණීය බව කේක් එකකට මුසු කරගන්නයි අපේ මේ සූදානම. මෙවර අයිසිං මල් කලාවෙන් අප ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මෙන්න මේ සුන්දර ටියුලිප් මලක් නිර්මාණය කරගන්නා ආකාරයයි. බලන්න, මේ මල අයිසිංවලින් මැවෙන අපූරුව.

අවශ්‍ය ද්‍රව්‍ය

තයිලෝ පේස්ට් හෝ පාච්මන්ට් අයිසිං

ඩස්ටිං පවුඩර්

බෝල ටූලය

බාබක්‍යු ස්ටික්

ස්පොන්ච් කොටසක්

ජෙලටින් ස්වල්පයක්

වේනර් එකක්

කොළ ගම්ටේප්

 

නිර්මාණය කිරීම

පළමුව පළමුවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට බාබක්‍යු ස්ටික් එකක් ගෙන ඒමත අයිසිං බෝලයක් තබා පොහොට්ටුවක හැඩයට අතින් සාදා ගන්න. ඉන්පසු එම බාබක්‍යු ස්ටික් එක වටා ගම්ටේප් ඔතාගන්න. දැන් දෙවැනි ඡායාරූපයේ දැක්වෙන පරිදි එම පොහොට්ටුව මත ඇඟිලිතුඩු මඟින් තද කරමින් කොටස් තුනක් ආකාරයට සාදා ගන්න.

පසුව කහ පැහැති අයිසිං බෝලයක් ගෙන තෙවැනි ඡායාරූපයේ පෙනෙන ආකාරයට පෙති හයක් සාදා ගන්න. දැන් එම පෙති ජෙලටින් ආධාරයෙන් ඉහතින් සාදාගත් කොටස වටේට අලවන්න. එම පෙති උඩට දුඹුරු පැහැති ඩස්ටිං පවුඩර් තවරන්න. සිව්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ ඩස්ටිං පවුඩර් තවරාගත් කොටසයි. ඉන්පසු එම පෙතිවල වටප්‍රමාණය අනුව තවත් අයිසිං බෝලයක් ගෙන එය කෝන් එකක් ආකාරයට අතින් සාදා ගන්න. පස්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම කෝන් කොටසයි.

හයවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට එම කොටස ඉහතින් සාදාගත් කොටස යටින් තබා අලවන්න. දැන් රෝස පෙති කටර් දෙකක් ගෙන හත්වැනි ඡායාරූපයේ දැක්වෙන පරිදි පෙති තුන බැගින් හයක් කපාගන්න. ඉන්පසු එම පෙති ෆෝම් ෂීට් එකක් මත තබා ඒ මත කෝන් ෆ්ලවර් ස්වල්පයක් තවරා පෙති පළල් වන ආකාරයට බෝල ටූලයෙන් අදින්න. මෙම පෙති හය එකින් එක දශම පහ බැගින් වැඩිවෙන ආකාරයට පළල් වන සේ ටූල් කරන්න. ඉන්පසු මෙම පෙති වේනර්කර නැවතත් ස්පොන්ජ් කොටසක් මත තබා ලොකු බෝල ටූල් එකකින් ටූල් කරන්න.

දැන් එම පෙති තේ හැඳී හයක් උඩ තබා වේළාගන්න. අටවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ වේළාගත් මල් පෙතිය. දැන් කුඩා කටරය තබා කපාගත් පෙති තුනගෙන ජෙලටින් ආධාරයෙන් ඉහත කොටසට සම්බන්ධකර අලවන්න. එම පෙති තුන කප් එකක් ආකාරයට වසාගන්න. නමවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ පෙති අලවා ගන්නා ආකාරයයි. ඉන්පසු අනෙක් පෙති ටික ගෙන ඉහතින් පෙති අලවාගත් තැන් අතරින් තබා අලවන්න. දෙවැනි පෙති වටය අලවා ඇති ආකාරය දහවැනි ඡායාරූපයෙන් දැක්වේ. දැන් මෙම මල වේළෙන්නට තබන්න. දැන් තවත් අයිසිං බෝලයක් ගෙන එම මලේ අගට සම්බන්ධකර එයට කොළ ඩස්ටිං පවුඩර් ආලේප කරන්න.

ඉන්පසු කොළ පැහැති තවත් අයිසිං කොටසක් ගෙන තුනීකර කොළයක හැඩයට කපාගන්න. පසුව එය ටූල් කර මැද ඇති ඉරි ටූත් පික් එකකින් ඇදගන්න. උඩට කොළ ඩස්ටිං පවුඩර් තවරන්න. දැන් එසේ සාදාගත් කොළ මත ජෙලටින් ස්වල්පයක් ගා මලට සම්බන්ධ කරගන්න. දැන් ඔබ ටියුලිප් මල සාදා අවසන්. මේ මල් යොදා ගනිමින් කේක් එකක් හැඩ කරගන්න ඔබට පුළුවනි.

 

උපදෙස් ප්‍රවීණ කේක්

නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය