බතික් නිර්මාණ කිරීමේදී අත්‍යවශ්‍ය වන වර්ණ සංකලනය

අප්‍රේල් 14, 2021

කලා නිර්මාණ ගොඩනැගීමේ දී අත්‍යවශයෙන්ම තිබිය යුතු කලා මුලිකාංග අතර වර්ණ වලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.

වර්ණ හඳුනා ගැනීමෙන්, වර්ණයක ඇති ගති ලක්ෂණ හඳුනා ගැනීමෙන්, වර්ණ සංකලනය තුළින් නිර්මාණයක අලංකාරය සහ අගය වැඩිකරගත හැකිය. බතික් නිර්මාණ කලාවේදී ද නිර්මාණ වල අගය වැඩි කිරීමට වර්ණය බෙහෙවින් බලපායි. එබැවින් වටිනාකමෙන් වැඩි අනගි බතික් නිර්මාණ කිරීම සඳහා බතික් කලාව හදාරන ඔබට වර්ණ පිළිබඳ මනා දැනුමක් ඇතිකර ගැනීම අතිශය වැදගත්ය. එබැවින් අද බතික් පාඩම තුළින් වර්ණ පිළිබඳ අවබෝධයක් ලබාදීමට අදහස් කළෙමු.

ප්‍රාථමික වර්ණ ( මුලික වර්ණ)

ප්‍රාථමික වර්ණ හෙවත් මුලික වර්ණවන්නේ රතු කහ සහ නිල් වර්ණයන්ය. අනෙකුත් සියලුම වර්ණ ගොඩනැගීම සඳහා උපයෝගී කරගනු ලබන්නේ මෙම ප්‍රාථමික වර්ණ තුනය.

රතු

කහ

නිල්

ද්විතික වර්ණ

ප්‍රාථමික වර්ණ දෙකක් මිශ්‍ර කිරීමෙන් ද්විතික වර්ණ සාදාගත හැකිය. ද්විතික වර්ණ වන්නේ කොළ, දම් සහ තැඹිලිය. බතික් කලාවේ දී වර්ණ දෙකක් මිශ්‍රකර වර්ණ සාදා ගැනීමේදී මුලින් තද වර්ණය දමා එයට ළා වර්ණය මඳින් මඳි මිශ්‍රකර ඔබට අවශ්‍ය වර්ණය සාදාගන්න

රතු + කහ = තැඹිලි

කහ + නිල් = කොළ

නිල්+ රතු = දම්

අන්තර් මාධ්‍යමික වර්ණ

බතික් නිර්මාණ කලාවේදී අන්තර් මාධ්‍යමික වර්ණ යොදාගෙන අපුර්ව නිර්මාණ කළ හැකිය. අන්තර් මාධ්‍යමික වර්ණ සාදාගනු ලබන්නේ මුලික වර්ණයක් සහ ද්විතික වර්ණයක් මිශ්‍රකිරීමෙනි. බොහෝ විට ඇසට පුරුදු රතු කහ නිල් හෝ තැඹිලි කොළ දම් වර්ණ සමග අන්තර් මාධ්‍යමික වර්ණ එක්කිරීමෙන් ඔබේ නිර්මාණය සාම්ප්‍රදායික නිර්මාණ රටාවෙන් ඔබ්බට ගිය නව නිර්මාණ බිහිකර ගැනීමට හැකිවනු ඇත. අප කව්රුත් සැමවිටම වෙනස් දෙයක් අත්විඳින්න කැමැත්තක් දක්වන බැවින් අන්තර් මාධ්‍යමික වර්ණ පිළිබඳව සියුම් ලෙස හදාරා ඇති විට ඔබගේ බතික් නිර්මාණයට එකී වෙනස ලබාදෙන්න

රතු+ තැඹිලි = රතු තැඹිලි

කහ+ තැඹිලි = කහ තැඹිලි

(තද කහ/ අමු කහ)

කහ+ කොළ = කහකොළ ( ශාක පත්‍රවල ඇති කොළ වර්ණය )

නිල් + කොළ = නිල් කොළ ( කළු කොළ )

නිල්+ දම් = නිල් දම් ( අල්ට්‍රා )

රතු + දම් = රතු දම් ( රෙඩ් වයලට් )

ඉහත වර්ණ හැරුණු කල නිර්මාණකරණයේදී සුදු, කළු, දුඹුරු, අළු වැනි වර්ණ බෙහෙවින් භාවිතා කරයි. එම වර්ණ හඳුන්වනු ලබන්නේ උදාසීන වර්ණ ලෙසයි. එම වර්ණ අතරින් බතික් කලාවේ ජනප්‍රියම වර්ණ යුගළයක් වන කළු සහ දුඹුරු වර්ණ සාදාගන්නා ආකාරය අප දැන් දැනගනිමු.

රතු + නිල් = කළු

කහ + කළු = දුඹුරු

ඉහත වර්ණ මගින් දනවන හැඟීම් පිළිබඳව ඔබට අවබෝධයක් ඇතිකර ගැනීම මගින් තැනට ගැළපෙන ලෙස බතික් නිර්මාණය කරගැනීමට පහසු වනු ඇත. එබැවින් දැන් අපි දැන් සාදාගත් වර්ණ අතරින් උණුසුම හඟවන වර්ණ සහ සිසිලස හඟවන වර්ණ හඳුනා ගනිමු.

උණුසුම් වර්ණ

- කහ,කහ තැඹිලි, රතු තැඹිලි, රතු, රතු දම්, රතු දම්

සිසිල් වර්ණ - දම් , නිල් දම්, නිල් , නිල් කොළ, කොළ, කහ කොළ

 

බතික් නිර්මාණ ශිල්පීන් අතර සුවිශේෂී නිර්මාණකාරිනියක ලෙස කැපී පෙනෙන්නට වර්ණ පිළිබඳව ලබාගත් දැනුම ඉදිරි නිර්මාණ වලදී අත්හදා බැලීමට සිත තබා ගන්න. අප ඔබට මූලික වර්ණ තුන යොදාගෙන විවිධ වර්ණ සාදාගන්නා ආකාරය ගැන හා එලෙස සාදාගත් වර්ණ හඳුන්වන වර්ණ පිළිබඳව දැනුවත් කළ අතර මේ සියලුම වර්ණ එකී නාමය දැක්වීමෙන් වෙළෙඳ පොළෙන් ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ඇති බව ද සළකන්න.

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා