පලතුරු වට්ටිය

පහසුවෙන් කරගත හැකි සරල නිර්මාණ
ජුනි 16, 2021

 

නැවතත් කෝවිඩ් මාරයා අපේ ජීවිතවලට ඇවිත්. ඒ නිසා අද වන විට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අත්‍යාවශ්‍ය කාරණයකට හැර වෙනත් කටයුත්තකට නිවෙසින් පිටවෙන්න බෑ. පොලිසියෙන් තහංචි වැටිලා. නමුත් ඔවුන්ට දොස් නගන්න බැහැ. අපි අපේ ජීවිත රැකගන්න ඕනෙ. එයට කරන්න ඕනෙ හොඳම දෙය නිවෙසටම වෙලා සිටින එකයි. ඔය අතරෙ ඔයාලට වතුපිටියෙ වැඩ වගේම ගෙදර දොරේ පහසුවෙන් සොයාගන්න පුළුවන් දේවලින් ලස්සන අත්කම් නිර්මාණ කරගන්නත් පුළුවන්. බලන්න මේ පලතුරු වට්ටිය නිර්මාණය කරලා තියෙන්නෙ කොහොමද කියලා. ගෙදරදි පහසුවෙන්ම හොයාගන්න පුළුවන් පත්තර පිටුවලින් තමයි මේ අපූරු නිර්මාණය හැඩවෙලා තියෙන්නෙ. දැන් අපි බලමු මේ පලතුරු වට්ටිය නිර්මාණය කරගන්නෙ කෙසේද කියා.

 

අවශ්‍ය  ද්‍රව්‍ය

පත්තර පිටු කිහිපයක්

ගම්, කතුරක්

ටූත් පික් එකක්

ඇක්රලික් තීන්ත හෝ රෙදි පින්තාරු තීන්ත

 

නිර්මාණය කිරීම

පළමුව පත්තර පිටුවක් ගෙන එය හරස් අතට කොටස් අටකට කපාගන්න. ඉන්පසු එහි එක් කොටසක් ගෙන ටූත් පික් එක ආධාරයෙන් රෝල්කර ටූත් පික් එක ඉවත්කර ටයිට් රෝලක් ආකාරයට අලවා ගන්න. මෙම නිර්මාණය සදහා මෙවැනි ටයිට්රෝල් 200 ක් පමණ අවශ්‍ය වෙයි.

දැන් එසේ සාදාගත් ටයිට් රෝල් දෙකක් ගෙන එකට අලවා ආධාරකයක් භාවිතකර මැද හිස්වෙන සේ ඡායාරූපයේ දැක්වෙන පරිදි රවුම් කොටස් සාදාගන්න. මෙවැනි රවුම් කොටස් 140 ක් පමණ අවශ්‍ය වෙයි. පසුව සාදාගත් රවුම් කොටස් හතක් ගෙන වට්ටියෙහි අඩිය කොටස සකසා ගැනීම සඳහා මලක් ආකාරයට කොටස් හත තබා හොඳින් ගම් ආලේපකර අලවා ගන්න.

දැන් නැවතත් එහි වටේට සාදාගත් පත්තර පටිවලින්ම ශක්තිමත් හැඩයක් සඳහා වටේ කොටස් තුනක් පමණ අලවා ගන්න. මෙම ආකාරයටම ඡායාරූපයේ පෙන්වා ඇති පරිදි මාරුවෙන් මාරුවට රවුම් සහ පටි අලවා ගන්න. එලෙසින් පටි අලවා ගැනීමේදී වට්ටියක හැඩය එනසේ අලවා ගැනීමට මතක තබාගන්න.

අවසානයේදී පින්සලක් ආධාරයෙන් සම්පූර්ණ වට්ටියම ගම් ආලේප කරන්න. ඉන්පසු නැවතත් ඔබට කැමැති වර්ණයකින් වට්ටිය වර්ණ ගන්වා ගන්න. එලෙසින් වර්ණ ගන්වා වේළෙන්නට තබන්න. මෙය හොඳින් වේළුණු පසු නැවතත් වට්ටිය වාර්නිෂ් කරගත යුතුය. මෙම නිර්මාණය පරිසර හිතකාමී තමන්ටම ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැකි නිර්මාණයක් වන අතර අවශ්‍ය වූ විටෙක සෝදා ගැනීමද කළ හැකිය.

උපදෙස් - මහරගම ප්‍රා. ලේකම් කාර්යාලයේ බාහිර  උපදේශිකා, ප්‍රවීණ අත්කම්  නිර්මාණ ශිල්පිනී
චූලනී ජයසිංහ