ඉවත ලන රෙදි කැබැලි යොදාගනිමින් හැඩ කළ කුෂන් කවරයක්

ජුනි 23, 2021

තෙවැනි රැල්ලේ කෝවිඩ් මාරයා පෙර නොවූ විරූ ලෙස මිනිස් ජීවිත ඩැහැගන්න පටන් අරන්. මේ හේතුවෙන් මුළු රටටම සංචරණ සීමා පැනවිලා. අත්‍යවශ්‍යම දෙයකට හැර නිවෙසින් පිටවීමට තහංචි වැටිලා.

අපි අපේ ජීවිත ආරක්ෂාකර ගන්න නම් එය කළ යුතුම දෙයක් බවටත් පත්වෙලා.

මේ විදිහට නිවෙසට කොටුවෙලා ඉන්නට සිදුවීම ඇතැම් කෙනෙකුට අසීරු කටයුත්තක් වෙලා වෙන්නට පුළුවන්. ඉතිං ඔබ මේ කාලය වෙනත් යමක් කරන්න හිත යොමුකරනවා නම් ඒක මනස සුවපත්කර ගන්නත් පිටුවහලක් වෙනවා. බලන්න අද අපි ඔබට තිළිණ කරන්නට සූදානම් වන්නේ ඉවතලන රෙදි කැබලි යොදා ගනිමින් පැච්වර්ක් ක්‍රමයට හැඩකළ ලස්සන කුෂන් කවරයක්. ඔයාගෙ නිවෙසත් මේ වගේ ඉතිරි වූ රෙදි කොටස් කැබලි තියෙනවා නම් ඒවා යොදා ගනිමින් මේ විදිහට ලස්සනට කුෂන් කවර බිත්ති සැරසිලි වැනි ඔබට කැමති නිර්මාණයක් කරගන්න පුළුවන්.

කුෂන් කවරයක් නිර්මාණය කිරීමේදී වර්ණ ගැළපීම මෙන්ම සායම් නොයන රෙදි වර්ග තෝරාගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. එසේම නිර්මාණයේ සීමාව සඳහා කපාගන්නා ලද සෑම රෙදි කොටසක්ම හොඳින් අයන්කර මැසීම ආරම්භ කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

 

මුද්‍රිත සහ තනි පැහැති රෙදි

අඟල් 16 සිපර් කොටසක්

පැඩිං

ලයිනින් සඳහා රෙදි

මසාගැනීමට නූල්

 

පතරොම් සාදාගැනීම

මෙම කුෂන් කවරය නිර්මාණය කිරීමේදී අඟල් 16x16 සමචතුරස්‍රයක් කාඩ්බෝඩ් කොටසක් මත ඇඳගන්න. ඉන්පසු රූප සටහනේ පෙනෙන ආකාරයට එය සමාන කොටස් හතරකට බෙදා වෙන්කරගන්න. පසුව එහි එක් සමචතුරස්‍රයක් ගෙන A සිට තිරස් අතටත් සිරස් අතටත් අඟල් 2.7 බැගින් ලකුණු කරන්න. රූප සටහනේ පෙනෙන ලෙස නැවත තිරස් සහ සිරස් අතට B සිට අඟල් 1.7 ක් ලකුණු කරන්න. නැවත C සිට අඟල් 1.7 ලකුණු කරන්න. C සිට තිරස් සහ සිරස් අතට අඟල් 2.2 බැගින් ලකුණු කරන්න. E සිට F දක්වා රේඛාවක් ඇඳගන්න. පසුව A සිට E දක්වාත් E සිට A දක්වාත් කවාකාරව ඇඳිය හැකිය. ඒ සඳහා රූලක් භාවිත කළ හැකිය.

දෙවනුව B සිට E දක්වා කවාකාර ලෙස අඳින්න. C සිට G දක්වාත් G සිට C දක්වාත් සිරස් තිරස් අතට රේඛාව ඇඳගන්න. පසුව E සිට C දක්වා කවාකාරව ඇඳගන්න. D සිට D දක්වා කවාකාරව අඳින්න. D, D, C, C සමාන කොටස් හතරකට බෙදා රූප සටහනේ පෙනෙන ලෙස ඇඳගන්න.

දැන් අප මෙසේ සකස් කරගත් පතරොම් තබා රෙදි කොටස් කපා ගනිමු. රෙදි කපා ගැනීමේදී සෑම කොටසක් සඳහාම අඟල් 1/4 ක මැහුම් වාසි තබා ගන්න.

ඉන්පසු රූප සටහනේ පෙන්වා ඇති පරිදි A, E කැඩි රේඛාවන් දක්වා ඇති කොටස පළමුව කපාගන්න. ඔබ එමඟින් කොටස් 8 ක් කපාගත යුතුය. දෙවනුව B, E කොටසින් කොටස් 8 ක්ද, තෙවනුව C, G කොටසින් කොටස් 8 ක්ද, C, G, G කොටස් 4 ක්ද C, D කොටස් 4 බැගින් කොටස් 16 ක්ද, අවසාන වශයෙන් D, F, D කොටස් 4 ක්ද කපාගන්න.

 

දැන් මසා ගනිමු

 

එහිදී පළමුව ඔබ A, B, C A, B, C කොටස් මූට්ටු කරන්න. පසුව එය E, G ලෙස නම්කර ඇති රේඛාවට තබා මූට්ටු කරන්න. දෙවනුව C, D කපාගත් කොටස් 4 මූට්ටුකර පසෙකින් තබා C,C,G කොටසට තබා මූට්ටු කරන්න. D, F, D කොටසත් D,D, කොටසට තබා මූට්ටු කරන්න. දැන් ඔබට සම්පූර්ණ එක් සමචතුරස්‍රයක් මැසී අවසන්. එලෙස ඉතිරි සමචතරස්‍ර තුන ද මසාගන්න. පසුව ඒවා එකිනෙකට මූට්ටු කරගන්න. අවසානයේ පැඩිං සහ ලයිනිං අල්ලා පිටුපස පළුවද සිපයරය අල්ලා මසා ඉදිරිපස කොටසට තබා මසා ගන්න.

 

 

 

උපදෙස්

සිංගර් ඩිප්ලෝමා මැහුම් ශිල්පිනී

රුවිනි දිලන්ති වුල්ෆ්