අධ්‍යාපනයෙන් පමණක් බුද්ධිමත් විය නොහැකිය

සුවබර නින්දකට ස්ලීප් මාස්ක්
ජූලි 7, 2021

 

ආදරණීය දියණියේ, දින දින වයසින් පරිණත වෙනවාක් මෙන්ම දැනුමෙන් හා බුද්ධියෙන් පරිණත වෙන්න. අධ්‍යාපනයෙන් දැනුම දියුණු කරන අතර බුද්ධිය සඳහා එම අධ්‍යාපනය ඉවහල් වේ. නමුත් අධ්‍යාපනයෙන් පමණක් බුද්ධිමත් විය නොහැකිය. ඒ සඳහා සමාජ ඇසුර අවශ්‍ය වේ. සාමාන්‍ය දැනීම අවශ්‍ය වේ. රටේ තොටේ සිදුවන දේ ගැන විමසිල්ලෙන් පසුවිය යුතුයි. ලෝකයේ සිදුවන දේවල් ගැන අවධියෙන් පසුවිය යුතුයි. අධ්‍යාපන පොත්පත්වලට අමතරව වෙනත් පොත්පත් කියවිය යුතුයි. තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගත යුතුයි. මේ සියල්ල අතර ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වන දේවල් තෝරා බේරා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. අනවශ්‍ය දේවල් ළංකර ගැනීමෙන් සිදුවන්නේ ඔබේ වටිනා ජීවිතය නිකරුණේ නාස්ති වීම පමණි.

 

රාත්‍රීය කියන්නේ සුවබර නින්දක් ලැබිය යුතුම කාලයයි. ඒත් විවිධ හේතු නිසා හැමෝටම සුවබර නින්දක් ලැබෙන්නෙ නැහැ. පුංචි දරුවන් ඉන්න අම්මලාට රාත්‍රීයට නින්දක් ඇත්තෙම නැහැ. ඒ අයට ලැබෙන විනාඩි පහක් වුණත් හරිම වටිනවා.

විදුලි පහන් දල්වා ගෙන නිදාගන්න නිසා සමහරුන්ට නින්ද යන්නෙ නැහැ.

දෝණි විභාගවලට පාඩම් කරන අතර නිදාගන්න ලැබෙන්නේ අඩු කාලයක්. ඒ කාලයේ හොඳ නින්දක් ලබන්න මෙවැනි මාස්ක් එකක් දාගෙන නිදාගන්න පුළුවන්. ඒ නිසා මගේ දුවට අද පුළුවන් ඒ සඳහා විසඳුමක් ලෙසින් ස්ලීප් මාස්ක් එකක් නිර්මාණය කරන්න. එය ඔබට වගේම සිඟිති දරුවන් ඉන්න ඔබේ නෑදෑ අක්කලාට. නැන්දලාට, පුංචිලාට තිළිණ කරන්න. අලස්වැසි කාන්තාවකට වුවත් කමක් නැහැ.

මෙවැනි දෙයක් නිර්මාණයකර අලෙවි කිරීමෙන් ඔබට ආදායමක් ද උපයා ගත හැකියි.

මේ සඳහා විවිධ වර්ණ මුද්‍රිත හා තනි පැහැති රෙදි, ඉලාස්ටික්, නූල්, ඉඳිකටු, කතුර ආදී කළමනා අවශ්‍ය වේ. පතරොමක් සාදා ගැනීමට ඝනකම් කාඩ් බෝඩ් කොටසක් ද තෝරාගන්න.

මෙය නිර්මාණය කිරීමට පළමුව පතරොමක් සකසා ගත යුතුයි. එම පතරොම ඔබට අවශ්‍ය හැඩයකට කපාගත හැකියි. අංක 1 න් දැක්වෙන්නේ පතරොමයි. එම පතරොම අවශ්‍ය ප්‍රමාණයට විශාලකර කාඩ් බෝඩ් එකක ඇඳ මෙහි දක්වා ඇති හැඩයට වටේ කපාගන්න. දැන් එම පතරොම භාවිතයෙන් එකම වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් රෙදි කොටස් දෙකක් හා පේපර් ස්ටිෆ්නිං කොටසක් කපාගන්න. අංක 2 රූපයේ කපාගත් කොටස් දැක්වේ. එලෙස කපාගත් එක රෙදි කොටසක් ගෙන එහි කණ පිට පැත්තෙන් පේපර් ස්ටිෆ්නිං කොටස තබා අයන් කරන්න. අංක 3 රූපය බලන්න. එවිට එය රෙදි කොටසට ඇලවේ. දැන් අඟල් 1/4 පළල ඉලාස්ටික් කොටසක් අවශ්‍ය දිගට ගෙන රෙදි කොටස පෙනෙන පැත්තේ දෙපැත්තෙන් තබා අල්පෙනෙති ගසන්න. අනෙක් ඉතිරි රෙදි කොටස ගෙන කණ පිට පැත්ත උඩට සිටින සේ ඉලාස්ටික් රැඳවූ පැත්තෙන් තබා අල්පෙනෙති ගසන්න. දැන් අංක 4 රූපයේ දැක්වෙන ලෙස මැදින් ඉඩ තබා කඩඉරි දිගේ ඉලාස්ටික් ද හසුවන සේ මසාගන්න. මසා අවසන් වූ පසු වටේ මැහුම් වාසි සඳහා කතුරෙන් කට් මාක් දමන්න. දැන් ඉඩ තැබූ තැනින් හොඳ පිට හරවා හොඳින් අයන් කරන්න. අංක 5 රූපයේ දැක්වෙන ලෙස එය අවසන් වී තිබේවි. එහි කළු පැහැති කඩඉරි මඟින් දැක්වෙන සේ අවසානයට වටේටම මසාගන්න. හිසේ රඳවන ඉලාස්ටික් කොටස මැෂිමට හසුවන්න දෙන්න එපා. මෙලෙස ඔබට බකමූණු හැඩයට මෙන්ම ඔබ කැමැති වෙනත් හැඩයකට ද මෙම ස්ලීප් මාස්ක් මසාගත හැකියි.