බතික් රෙද්දෙන් කළ බෑගයක අලංකාරය

අගෝස්තු 11, 2021

 

ඔබේම අතින් නිර්මාණය කරගත හැකි ලස්සනම ලස්සන බෑග් විලාසිතා අපි හැමදාමත් රැගෙන එන්නෙමු. ඒ අතරට මේ සතියේ තිළිණය බතික් රෙද්දෙන් කළ අලංකාර බෑගයකි. වැඩි බඩු ප්‍රමාණයක් දමා රැගෙන යාමට හැකිවිම මෙහි විශේෂත්වයයි. බලන්න, ඔබටත් මෙය පහසුවෙන් නිර්මාණය කරගත හැකි ද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 25ක් දිග අඟල් 13ක් පළල

බතික් රෙදි දෙකක්

පොප්ලින් රෙදි යාර 1/4ක්

සිපර් අඟල් 25ක්

ලයිනිං සඳහා කැම්බ්‍රෙල්ලා

ෂීට් යාර 2ක්

රින්ස් 4ක්

කෝඩ්නූල් යාර 2ක්

මසාගැනීම

පළමුව දී ඇති පතරොම් අවශ්‍ය ප්‍රමාණයට විශාලකර රෙදි කපාගන්න. පසුව ඉදිරිපස හා පිටුපස කොටස් දෙකට ෂීට් තබා මසා ගන්න. දැන් මසාගත් කොටස් දෙකෙහි හරි මැද සොයාගෙන හරි මැද සිට අඟල් 3ක් වමට හා දකුණට ලකුණුකර එසේ ලකුණු කරගත් ස්ථානයේ සිට අඟල් 3ක් පහළට ලකුණුකර එතැනට රින්ස් තබා සවිකර ගන්න.

කෝඩ්යාර දෙකක් යාර එක බැඟින් කපාගන්න. එසේ කපාගත් කෝඩ් එක රින්ස් අතරින් දමා තදට ගැටයක් ගසා ගන්න. එසේ ඉදිරිපස හා පිටුපස කොටස් දෙක සාදාගන්න. B කොටස, එනම් රවුම් කොටසට ෂීට් තබා මසාගෙන වටේ කපාගන්න. දැන් වටේට කපාගත් රවුම මැදින් දෙකට නමා මැද ලකුණු කරන්න. ඉදිරිපස හා පිටුපස කොටස් දෙකෙහි පැත්ත මසා ගන්න. එම දෙපැත්තට රවුම් කොටසේ මැද ලකුණුකර ගත් කොටස තබා රවුමට මසාගන්න. ෂිපර් පටිය ගෙන එයට ෂිපර් එක හා ලයිනිං තබා මසාගන්න. මසාගත් සිපර් පටිය බෑගයේ කට වටේට තබා මසාගන්න.

මෙය තරමක් ලොකු බෑගයක් නිසා විනෝද ගමනක් යනවිට ගෙනයන්නත් වඩාත් සුදුසුයි.

 

 

උපදෙස් - ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ කරුණාගොඩ

 

 

 

 රූ රටා - විදුමිණි