ආදරණීය ජීවිතයක් අරඹන්නට හොඳම දවසයි; මේ

අප්‍රේල් 10, 2019

ගෘහණියක් වන ඔබ දැනටමත් එළැඹෙන සිංහල, හින්දු අලුත් අවුරුද්දට සූදානම් බව අපි දනිමු. නිවෙස් ශුද්ධ පවිත්‍ර කොට, අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගෙන, කැවිලි පෙවිලි හදන්නට පේ වී සිටින්නේ ආදරණීයයන් සැවොම එක්වී අලුත් අවුරුද්ද ජයටම සමරන්නට ය. අතිශය උත්සවශ්‍රීයෙන් චාරිත්‍ර වාරිත්‍ර අකුරටම....... නැකැතටම ඉටුකරන්නට මඟ බලා සිටින අපේ ආදරණීය ජනතාවට මෙම උත්සවය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ඊළඟ අලුත් අවුරුද්ද එළැඹෙන තුරුම සිත තුළ රඳවාගෙන හැසිරෙන්නට හැකිනම් කොතරම් අගනේ ද?

සිංහල අලුත්, අවුරුද්ද කියන්නේ වටිනාකම් බොහෝමයක් අපගේ ජීවිතවලට එකතු කරන වත්පිළිවෙත්වලින් අනූන ජාතික උත්සවයකි. මෙදිනට තරම් අප එකිනෙකා ගැන හිතන දිනයක් තවත් නැතිතරම්. ඒත් ඒ ආදරණීය බව නැකැතටම පමණක් සීමා කරන්නේ මන්ද යන්න ප්‍රශ්නාර්ථයකි. සමහර වැඩිහිටියන් නැකැත් චාරිත්‍රයක් ලෙස බුලත් හුරුළු දී, දෙඅත් එක්කොට ‘සුබ අලුත් අවුරුද්දක් වේවා’ ප්‍රාර්ථනා කළද එය හදවතින්ම උපන් හෘදයාංගම ප්‍රාර්ථනයක් ද කියා සැක හිතෙන්නේ දින දෙක තුනකට පසුව හැසිරීම් විලාසය දකින විටය. මූනිච්ඡාවට කරන එවැනි වත්පිළිවෙත්වලින් වැඩක් නැත. එයින් සිදුවන්නේ තමා තමා රවටා ගැනීමකි.

ජීවිතය විඳින්නට නම් ඔබ අප සැවොම සැනසිල්ලෙන් පිරුණු වටපිටාවක ජීවත් විය යුතුය. ඔබ සිටින්නේ වෛරය, කුරිරුකම, කුහකකම, දුෂ්ටකමින් අනූන වටපිටාවක නම් ඔබට සැබෑවටම සතුට, සැනසීම භුක්ති විඳිය හැකි ද? නමුත් අප වටා බොහෝ විට දකින්නට ඇත්තේ ....... ගැවසෙන්නට සිදුවී ඇත්තේ මෙවැනි අධම සමාජ වටපිටාවකය. ඒනිසා මේ තත්ත්වය වෙනස් කිරීමට හැක්කේ ද ඔබ අපටමය. ඔබේ හැසිරීම අනෙකාට වදයක් වේනම් අසතුටක් ගෙන දෙන්නේ නම් ඔබ වහා වෙනස් විය යුතුය. මේ එයට කදිම අවස්ථාවකි.

ඔබ ඔබේ බිරිය , සැමියා, දරුමල්ලෝ සමඟ යහපත් බැඳීමක් මෙතුවක් කල් නොතිබුණේ නම් එය වෙනස් කරගන්නටත් මේ එළැඹෙන මොහොත ආශීර්වාදයක් වේවි. එකිනෙකා අතර තිබෙන නොහොඳ මෝක්කාඩු අවසන්කර දමන්නට තවත් නම් ප්‍රමාද කරන්න එපා. එසේ වුවහොත් ඔබට කවදා හෝ කඳුළු සලන්නට සිදුවේවි. ජිවිතය යනු හිමි අහිමිවීම්, සැප දුක් අතර දෝලනය වෙමින් ඉදිරියට ගලායන ගමනකි. අපගේ ආදරණීයයන් සමඟ සැමදා අපට සිටින්නට ලැබෙන්නේ නැත. කවදා හෝ අප සැවොම එකිනෙකා අතහැර යා යුතුය. එය සත්‍ය දහමයි. එබැවින් මේ අප ගෙවන කෙටි ජීවිත කාලය තුළ සැමියා, බිරිය, දරුවන්, ඥාතීන්, මිතුරන් මේ සැවොම සමඟ ජීවිතය බෙදාහදා ගනිමින් තුටින් ගත කිරීමට අදිටන් කරගනිමු.

එකිනෙකා අභිබවා යමින් ඇනකොටා ගනිමින්, අපට ලැබෙන දෙයක් නැත. ලැබෙන එකම දෙය නම් අහිමි වීම් පමණටය. ඔබ ඔබේ සැමියා දෙස ආදරයෙන් බලන්න. ඔහුගෙන් යම් අඩුපාඩුවක් සිදුවුවත් ඒ සියල්ල අමතක කොට නැවතත් ආදරණීය ජීවිතයක් අරඹන්න අදිටන් කරගන්න. ඔබ බිරියගෙන් ඈත් වූ සැමියකු නම් ඇගෙන් සිදු වූ අතපසුවීම්, අකටයුතුකම් අමතක කොට අලුත් ජීවිතයක් ගැන සිතන්න තවත් ප්‍රමාද නොකරන්න. එක වහලක් යට ජීවත් වුවත් වසර ගණන් කතා නොකරන සැමියන් බිරින්දෑවරුන් කොතරම් නම් මේ සමාජය තුළ ජීවත් වේද? දරුවෝ වෙනුවෙන් ඔවුන් කරන මේ කැපවීම අගය කළයුතු නමුත් තවදුරටත් සැබැවින්ම ඔබ එසේ සිටිය යුතුද?

ගතින් එක ළඟ සිටියත් සිතින් ඔබ දෙතැනක නම් ඔබේ සතුට බොහෝ දුරය. වරද කාගේ වුවත් ඒ ගැන සිත සිතා වෛර බඳිමින් නොසිට සමාව දී හදවතින්ම ජීවිතයට ආදරය එකතු කරන්න. ඔබේ කැපවීම තුළ නොවැරැදීම ව්‍යාජ සතුට වෙනුවට අව්‍යාජ සතුට ඔබට ලැබේවි. මෝක්කාඩු කතා විලාසය පෑල දොරින් ඉවතට විසිකර දමන්න. ඔබේ ජීවිතය සුර ලොවක් වෙත කැඳවාගෙන යා හැක්කේ ඔබටම මිස වෙන අයකුට නොවන බව නිතර සිහියේ තබා ගන්න.

බිරිය, අම්මා සතුටින් සිටින විට නිවෙසම සුරපුරයකි. මව, බිරිය අසතුටෙන් නම් ඒ නිවෙස මිහිපිට අපායක් බඳුය. ඒ නිසා ඔබ ආදරණීය අම්මා කෙනකු වන්නට නම්...... ආදරණීය බිරියක වන්නට නම් මෙතෙක් සැමියා සමඟ තිබූ හිත් නොහොඳකම් අමතක කර දමන්න. බිඳුණු, පෑරුණු සිත් එකලස් කරගෙන නැවත ආදරණීය ජීවිතයක් අරඹන්නට එළැඹෙන අලුත් අවුරුදු උදාව මොහොතක් කරගන්න.

වරදට සමාව දීමේ දේව ගතිය කියා දෙන්න. දෙමහල්ලෝ හිතින් දෙතැනක ගත කළ ජීවිතයට නිමාව තබන්නට මෙය සැබෑම මොහොතක් වේවි. ජීවිත කාලය පුරාවට...... අවසන් හුස්ම පොද වාතලයට මුසු වන දා දක්වා එකට ජීවත් වන්නට ගිවිස ගත් ඒ අතීතයට සතුටු සිතින් යමින් ජීවිතය සතුටින් පුරවා ගන්න. එයයි අපගේ සිංහල අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනය.

අද සමාජය අතිශය සංකීර්ණය. බොහෝ වටිනාකම් මුදලට යට වී හමාරය. දස මසක් කුස දරා අනේක දුක් විඳිමින් ලෝකය ජයගන්නට පාර පෙන්වූ මවුවරු පියවරු අමතක කර දමන්නට තරම් සමහර දරුවෝ සාහසික වී ඇත. සැබෑවටම මවුපියන් සමඟ දරුවන්ට විරසක විය හැකි ද? මේ බොහෝමයක් විරසක් වීම්වලට හේතුව දේපොළ සමව නොබෙදීම ය. නැතිනම් නොදීමය. මෙවැනි සුළු කාරණා නිසා දරුවෝ මවුපියන් දෙස බලන්නේ නැත. අම්මාවරු, දරුවෝ ගැන සිතමින් කඳුළු සලති. එහෙත් දරුවෝ ජම්මාන්තර වෛර පිරිමහති. සියල්ල අනිත්‍ය ලොවක වෛරය මොවුන් නිත්‍ය කොටගෙන ඇත. මේවා නිමා කරන්නට කාලය එළැඹ ඇත. සමහර විටෙක දරුවෝ තරම් කල් මවුපියන් ජීවත් නොවන්නට පුළුවන. නැතිනම් මවුපියන් ජීවත්ව සිටියදීම දරුවන් අකාලයේ ජීවිතයෙන් සමුගත් අවස්ථා ද නැතුවා නොවේ.

එබැවින් අපි හැමෝම කවර සමාජ තලයක ජීවත් වුවද මේ මොහොතේ යහපත් ලෙස ජීවත් වන්නට සිතීම කෙතරම් යහපත් වේද? මවුපියන් ඔබට දේපොළ නොදෙන්නට පුළුවන. එහෙත් ඔබට ජීවිතයක් දී ඇත. අතපය සතර නොකඩා ලේ කිරිකර දුන් ආදරණීය අම්මා අමතක කර දමන්නට ඔබට කොහෙත්ම අයිතියක් නැත. පෘතග්ජන මිනිසුන් හැටියට ඔබේ සිත් රිදෙන්නට ඇත. තැලෙන්නට ද ඇත. එහෙත් ඔබේ ජීවිතයෙන් මවුපියන් ඈත් නොකරන්නට එය හේකුවක් නොවෙති.

ඔබ මේ සිංහල අලුත් අවුරුද්දට ඔබෙන් මඟ හැරුණු අම්මා, තාත්තා බලන්නට යන්න. දරුවන්ගේ මුහුණු දකින එක තරම් සතුටක් මවුපියන්ට තවත් නැත. ඒ සතුට පසුගිය අවුරුදු කිහිපයේ මවුපියන්ට නොදුන් දරුවෙක් නම් ඔබ මේ සිංහල අලුත් අවුරුද්දට අම්මා, තාත්තා බලන්නට යන්න අමතක කරන්නට එපා. මේ ලෝකේ සදාකාලික කිසිවක්ම නැත. එනිසා මවුපියන්, බිරින්දෑවරුන්, සැමියන්, දරුවන්, නෑදෑහිතමිතුරන් අතරේ වෛරය ද සදාකාලික නොවනු ඇත. කාලයත් සමඟ මැකී යන වෛරය, අමනාපකම් අමතක කර නැවතත් ආදරණීය බැඳීම් ඇතිකර ගැනීමට සිංහල අලුත් අවුරුද්ද තරම් කදිම අවස්ථාවක් නැවත නොලැබෙන බව නම් නොකියාම බැරිය.