මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

මැයි 15, 2019

තව නොබෝ දිනකින් වෙසක් පොහෝ දිනය උදාවෙයි. එහෙත් වෙනදා දකින්නට තිබෙන වෙසක් ප්‍රබෝධය මෙවර දකින්නට ලැබෙයි ද? එහෙම වුණේ ඇයි කියලා ඔබට අමුතුවෙන් මතක් කළයුතු නැතිවේවි.

ධ්ඉධ්ඉ මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය හමුවේ අමු අමුවේ ඝාතනයට ලක්වූ ජීවිත පිළිබඳ තවමත් .. මේ මොහොතේත් අප සිටින්නේ මහත් සිත් තැවුලෙනි.

එවන් මොහොතක අසිරිමත් වෙසක් උළෙලක් පැවැත්වීම ගැන සිතන්නට නොහැකියි. මක් නිසාද රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අප දැඩිව සිතා බැලිය යුතු මොහොතකි මේ.

එබැවින් වෙනත් වෙසක් දිනවලදී මෙන් ආමිස පූජාවට වැඩි ඉඩක් ලබාදෙමින් විචිත්‍රවත් වෙසක් සැමරුමකට වඩා ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දෙමින් සමරන්නට මෙවර අපි පෙළ ගැසෙමු. මේ මොහොතේ උචිත වන්නේ එය නොවේද?

මේ වෙන කවරදාකටත් වඩා අපේ හිත් සාමකාමී බවින් පුරවා ගතයුතු කාලයකි. උඩඟු බවින් මමත්වයෙන් උමතු වීම වෙනුවට නිරහංකාර බව සැම හිතකම ඉපදේවා! කලබල තැන සාමය දකින්නට නැත.

එය හරියට බොර වූ පොකුණක් වැනිය. කිසිවක් නිශ්චිත නැත.

කලබල හිතකින් හැමවිටම ඇතිවන්නේ විපතකි. කලබල හිත වෛරයට තෝතැන්නකි. අධාර්මික බව රජ කරවයි. අද දවසේ අපගේ වගකීම වී ඇත්තේ මේ කලබල සිත් සුවපත් කරන්නට අවශ්‍ය ඉඩකඩ වටපිටාව සලසා දීමය.

ජාති,..ආගම්... භේදයකින් තොරව සැම සිත් සුවපත් කරන්නට මාධ්‍ය සතු වගකීම අති විශාලය.

අප ඔබ කැප විය යුත්තේ ඒ උදෙසා බව හැම මොහොතකම සිත තබා ගන්නට අමතක නොකළ යුතුය.

ජීවිතය මේ යැයි හඳුනාගන්නට මේ වෙසක් දිනයේ අපි අදිටන් කරගනිමු.

වටිනාකම් බහුල යැයි සිතන බොහෝ දෙනකු හැකිතරම් භෞතික සම්පත්වලට ලොල් වීම, ගෙවල් දොරවල්, යාන වාහන කම් සැප, රන් රිදී, මුතු මැණික්, මිල මුදල් පොදි බැඳ ගන්නට පොරකති.

බල තණ්හාවෙන් නිලතල ලබාගන්නට කුලල් කාගනිති. හොඳින් හෝ නරකින් හරිමඟ හෝ වැරැදි මඟ යමින් කාගේ හෝ කරමතින් යන්නට උත්සාහ කරන්නේ තමාගේ ජීවිතය සැපවත් කරගන්නටය.

මොනවා වුවත් කමක් නැත. මොනවා නැතිවුවත් කම් නැත. ආගම පාවා දී හෝ ජාතිය පාවා දී හෝ රටම බිල්ලට දී හෝ තමාගේ මල්ල තර කරගන්නට හිතන පිරිස් අද සමාජයේ වෙන කවරදාකටත් වඩා දකින්නට ඇත. අපට ලැබිය හැකි ලොකුම නිදහස මානසික නිදහසය.

නිවී සැනහෙන ඒ උතුම් මානසික නිදහස් බව ලබාගැනීමට බුදුදහම ඇසුරේ අපට උගත හැකි දේ බොහෝය.

උසස් මනසක් ඇති මිනිසා දුර්ජන තත්ත්වයට පත්වන්නේ සිතුවිලි තුළිනි. කුඩා පැළයක් අතුරිකිලි ලා වැඩෙන්නේ එයට නිසි ජලය, පොහොර, සූර්යාලෝකය වැටෙන විටය.

මිනිස් දරුවා ද පෝෂණය වන්නේ එලෙසිනි. ආහාර පාන නිසි ලෙස ලැබෙන විට දරුවකු සෞඛ්‍ය සම්පන්නව වැඩෙයි. එහෙත් එයින් එය නොනවතී.

එම පවුලේ මවුපියන්ගේ හා බාහිර සමාජයෙන් ලැබෙන යහපත් හා අයහපත් චර්යයාමත දරුවා තුළ එම චර්යාවන් වර්ධනය සිදුවෙයි.

එය යහපත් අතට හැරුණේ නම් එම දරුවා වැඩිහිටියකු වන විට සමාජයට ඵලදායී යහපත් පුද්ගලයකු වෙයි.

අයහපත් වුවහොත් සමාජයට බිහිවන්නේ අවැඩක් ඇති පුද්ගලයන්ය.

ඒ නිසා අද අප කළ යුත්තේ ළමා පරපුර තුළ යහපත් සිතුවිලි ගොඩනැඟීමය. එය කාලීන අවශ්‍යතාවයකි.

දීර්ඝ කාලීනව ළමා මනස දැහැමි සිතුවිලිවලින් පෝෂණය කළයුතුය. මිනිස් වර්ගයාට පමණක් නොව සමස්ත පරිසරයටම ආදරය කරන ගෞරව කරන පුද්ගලයකු නිර්මාණය කළ යුතුය.

රටක් ගත් කල විවිධ ආගම් අදහස් පුද්ගලයන් අයත් වෙයි.

සියලු වර්ගවල අය විවිධ භාෂා කතා කරන පුද්ගලයන් වෙයි. අප සංහිඳියාවෙන් යුතු සමාජයක් ප්‍රාර්ථනා කරන්නේ නම් එවැනි දරුවකු බිහි කළ යුතුය.

එකම මිනිස් කණ්ඩායම් හෝ මඟ හැරුණේ නම් ඒ මඟහැරීම තුළ අනාගතය තුළ විශාල අනතුරක් නිර්මාණය වෙයි.

එහි ප්‍රතිඵලය විඳින්නට වන්නේ සමස්ත සමාජයටමය.

මිනිස් අධ්‍යාත්මය පිරිහෙන වසල ගති පිළිබඳ වසල සූත්‍රයේ මැනවින් විග්‍රහ කරයි. නිතර අධික කෝපයට පත්වීම, වෛරයට, මිත්‍යා දෘෂ්ටික අදහස් ඇත්තන් වීම, පාපතර අදහස් ඇත්තන් වීම, වැරැදි කිරීමට ලැජ්ජා බිය නැතිවීම මේ ආදී හේතු කොටගෙන සමාජය පිරිහෙයි.

යම් කෙනකු තුළ විවිධ අයුරින් ක්‍රියාත්මක වන මෙම ගති ලක්ෂණ වසල ගති වේ. මේ සඳහා මිනිස් මනසට වහාම ප්‍රතිකාර කළ යුතුය. ඒ මානව සමාජය වෙනුවෙන් කරන සද්ක්‍රියාවකි.

වෙසක් දිනය ළඟා වෙද්දී අපට ඇහෙන කලාශූරී මොහිදීන් බෙග් මහතාගේ ගී අපට දසත ඇසෙයි. ඉන් එක් ගීතයක මිනිසා ගති ලක්ෂණ මැනවින් කියැවෙයි.

 

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ

දෙකනින් ඇසූ දේ නොවී.....//

තණ්හා පොදි ගසා

තව කෙනකුන් නසා

මොනවද අවසානෙදි අරගෙන යන්නේ..//

ධර්ම රකින්නා - ධර්ම රකින්නා

ධර්මෙන් රැකදී - එය නොම දන්නා

සසරෙහි මැරී මැරී තැවේ

 

සැබැවින්ම මේ ගීතය සමස්ත සමාජයටම කියාදෙන්නේ වටිනා පාඩමකි. මුළාවූ මිනිසා මොහොතක් තවකෙනකුන් විනාශ කරමින් ලබන සතුට කුමක්දැයි නොසිතෙයි. ඒ ගැන මොහොතක් සිතන්නට මේ වෙසක් සතිය ඔබට හොඳම අවස්ථාවයි.