එදා අද මෙන් හෙටත් ඔබ අපේ ශක්තියයි

ජූලි 3, 2019

තරුණී කර්තෘ මණ්ඩලයේ දුරකථනයට දිනකට ලැබෙන ඇමතුම් බොහෝය. ඒ අතරින් එක් සුවිශේෂී ඇමතුමකි. එහා කෙළවරින් ඇසුණේ වැඩිහිටි කාන්තා කටහඬකි. තැන්පත් නිවුණු හඬකින් ඇමතූ ඇය මහනුවර ප්‍රදේශයේ මාතාවකි. 1969 ජූලි මාසයේ දිනෙක ඇයට ඇගේ කුලුඳුල් දරුවා ලෙස දියණියක ලැබී ඇත.

‘තරුණී’ පුවත්පත බිහිවූයේ 1969 ජූලි 09 වැනිදාය. ඇය බලන්නට රෝහලට පැමිණි සැමියා තරුණී මංගල කලාපයත් රැගෙන විත් තිබිණි. ඇය තරුණී පාඨකයෙක් වී ඇත්තේ එලෙසිනි.

එදා සිට ඇගේ ජීවිතයේ සමීපතම යෙහෙළිය වී ඇත්තේ ‘තරුණී’ පුවත්පතයි. ජීවිතයේ සියලුම සතුටුදායක අවස්ථා, දුක්බර අවස්ථා සම සිතින් දරාගනිමින් හොඳ බිරියක, මවක මෙන්ම ගෘහණියක ලෙස ඇයට ගොඩනැඟෙන්නට තරුණී ඇගේ ජීවිතයට මවක විය. ගුරුවරියක විය. දියණිය යහපත් කුල කාන්තාවක ලෙස සමාජයට වැඩදායක ලෙස දායාද කරන්නට ‘තරුණී’ තුළින් ලත් දැනුම පිළිබඳව ඇයට ඇත්තේ අප්‍රමාණ භක්තියකි. ආඩම්බරයකි. ආදරයකි.

එදා සිට ගෙවී ගිය දශක 5ක් පුරාවට එක් කලාපයක් හෝ අත නොහැර ඇය ‘තරුණී’ මිලදී ගන්නීය.

එදා මෙදා තුර වසරින් වසර ගෙවීගොස් ලයිනෝ යුගයෙන් ඕෆ්සෙට් යුගයට පැමිණි තරුණී බොහෝ කතුවරුන්, කතුවරියන් අතින් විවිධාකාරයෙන් සංස්කරණය වෙමින් පැමිණිය ද ඇය තවමත් තරුණී සමඟ බැඳී සිටින්නීය.

ඇගේ දියණිය ද අද මවකි. ඇයට ද දියණියක සිටින අතර ඔවුන් ද ජීවිතයේ දුක, සැප බෙදා ගන්නා සමීපතම යෙහෙළිය ලෙස තරුණීට ආදරය කරන තරුණී පාඨකයන් බව ඒ මාතාව පවසන්නේ සැබෑ ආඩම්බරයකිනි.

මේ මෙවැනි වූ ලක්ෂ සංඛ්‍යාත වූ පාඨකයන් අතරින් එක් අයකු පමණි. එවන් වූ ඔබ සැබැවින්ම ‘තරුණී’හි ශක්තියයි. ‘තරුණී’ හි ජීවනාලියයි. ඇයටත් , එදා මෙදා සිට අප සමඟ බැඳී සිටින එවන් වූ අනෙකුත් ආදරණීය පාඨකයන්ටත් උපහාර පිණිස මේ සටහන තබන්නේ තව හරියටම දින හයකින් ‘තරුණී’ සිය අභිමානවත් 50 වැනි උපන්දිනය සමරන බැවින් ඒ පිළිබඳව නිහතමානී ආඩම්බරයකිනි.

එදා ඊයම්වලින් අකුරු අමුණා ‘ලයිනෝ’ ක්‍රමයට මුද්‍රණය වූ තරුණීහි කවරය සඳහා යොදාගත් ඡායාරූපය පවා බොහෝවිට පළවූයේ ‘කළු සුදු’ ලෙසය.

ඉන්පසු ‘ඕෆ්සෙට්’ ක්‍රමයට මුද්‍රණය වුණු අතර වර්ණ ඡායාරූපවලින් ‘තරුණී’ වඩාත් හැඩවැඩ වූවාය. පරිගණකයේ බිහිවීමත් සමඟම මුද්‍රණ ක්ෂේත්‍රයේ ද පෙරළිකාර වෙනසක් සිදුවුණු අතර වර්තමානයේ තරුණී සියලුම පිටු අලංකාරව, වර්ණවත්ව ඔබේ දෝතට එන්නීය.

එසේම අන්තර් ජාලය බිහිවීමත් සමඟ මුද්‍රණ ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ද විශාල වෙනස්කම් රාශියක් සිදුවී තිබේ. ඒ වෙනසට අනුගත වෙමින් ‘තරුණී’ දැන් අන්තර්ජාලයෙන් ද ඔබ හමුවට එන්නීය.

අනාගතයේ මීටත් වඩා, අපට සිතාගත නොහැකි වෙනස්කම් සිදුවිය හැකිය.

එහෙත් ඒ සියලු වෙනස්කම්වලදී වුව ඒ හා සමඟ බද්ධ වෙමින් ඔබේ ආදරණීය තරුණී ඔබ ළඟින්ම හිඳිනු ඇත.

ජීවිතයට අර්ථයක් ගෙන දෙන්නට, ගුරුවරියක, මවක, දියණියක මෙන්ම යෙහෙළියක ලෙස ඔබේ පසන් නිවෙසට සිරිකත කැන්දාගෙන, ඔබ කාන්තාවන් අතර රැජිනක් කරන්නට සෑම බදාදාවකම ආදරණීය තරුණී ඔබේ දෝතට එන්නීය.

තව දින කිහිපයකින් සිය ඓතිහාසික 50 වැනි උපන්දිනය දා ඇය මෙරට සමස්ත කාන්තා පරපුරේ අභිමානය වෙමින්, නවමු විශේෂාංග රාශියකින් යුතුව ශ්‍රී ලාංකේය කාන්තා පුවත්පත් කලා අඹරේ ‘හිරු’ලෙස පායා එන්නීය.

ඒ හිරු එළියෙන් පිපී විකසිත වී හිනැහෙමින් මේ ලක් දෙරණ සුවඳවත් කරන්නට ඔබට හද පිරි සෙනෙහසින් ආරාධනා කරමු.

 

මේ ඔබේ ආදරණීය

ඉඳුනිල් වීරරත්න