සිහින විනාශ කර දමන්නන් ගෙන් පරෙස්සම් වෙන්න

අගෝස්තු 14, 2019

මීට දශක දෙකකට පමණ පෙර සිටම අපේ රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධානම මාර්ගය වූයේ තේ සහ රබර් අපනයනයි. නමුත් වර්තමානයේ විදෙස් රටවල සේවය කරන ශ්‍රමිකයන් උපයන ආදායම එම තැන ගෙන තිබේ.

මේ නිසා ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් විදෙස් ගතකිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් සිදුකෙරේ. එලෙස ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් විදෙස් ගත කිරීම වැඩි හරියක් සිදුවන්නේ විදෙස් රැකියා නියෝජිත ආයතන මඟිනි. මේ විදෙස් රැකියා නියෝජිත ආයතන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතුය.

ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් විදෙස් ගතකිරීම ඉතා හොඳ ආදායම් මාර්ගයක් බැවින් අද වනවිට රැකියා ඒජන්සි බොහෝ ප්‍රමාණයක් බිහිවී ඇත.

මේ රැකියා නියෝජිත ආයතනවලට ශ්‍රමිකයන් සැපයීම සිදුකෙරෙන්නේ උප ඒජන්සි සහ තැරැව්කරුවන් මඟිනි. මේ ඇතැම් උප ඒජන්සිකරුවන් සහ තැරැව්කරුවන් එක්වී වංචනික ලෙස මුදල් උපයාගන්නේ මෙවැනි පුද්ගලයන්ගේ ‘සිහින’ සියල්ල විනාශකර දමමිනි. මේ පිළිබඳව මොනතරම් මාධ්‍ය මඟින් දැනුම්වත් කළද දිනෙන් දින මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුවී තමන් ජීවිත කාලයටම උපයාගත් මුදල් ලක්ෂ ගණනින් අහිමි කරගන්නෝ බොහෝ වාර්තා වෙයි.

අපේ රටේ රැකියාවකින් ලබන වැටුපට වඩා කිහිප ගුණයකින් වැඩි වැටුපක් හිමිවන විදෙස් රටක රැකියාවක් කර තමන්ට ජීවිතයේ දකින සිහින සැබෑ කරගන්නට උත්සාහ ගන්නෝ බොහෝ ය.

විශේෂයෙන් මෙවැනි වංචනිකයන්ට හසුවන්නේ කාන්තාවන් නිසා ඒ පිළිබඳව යළි යළිත් මතක් කළ යුතුව ඇත.

මේ පසුගියදා දිනපතා පුවත්පතක පළවූ ප්‍රවෘත්තියකි. ‘නීති විරෝධීව ඩුබායි රාජ්‍යයට කාන්තාවන් යැවීමට තැත්කළ උප ඒජන්තවරයකු අත් අඩංගුවට’ යන ශීර්ෂය යටතේ එය පළවී තිබිණි.

ඒ අනුව සංචාරක වීසා යොදාගනිමින් නීතිවිරෝධී අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා පිරිසුදු කරන්නියන් වශයෙන් කාන්තාවන් සිව්දෙනකු යැවීමට තැත්කළ උප ඒජන්තකරුවකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මදුරන්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔහු හලාවත හා මදුරන්කුලිය ප්‍රදේශයේ කාන්තාවන් සිව් දෙනකුගෙන් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් ලබාගෙන තිබේ.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගෙන ඇති අතර, ඔහු ලබාගත් මුදල් නැවත රැකියා අපේක්ෂකයන්ට ලබා දීමට එකඟ වූ බැවින් රුපියල් 10,000 ක මුදල් හා ශරීර ඇප මත මුදාහැර තිබේ.

මෙහිදී බොහෝවිට මෙම පුද්ගලයා යළිත් ක්‍රියාවම සිදු කරයි.

එසේම තවත් පුවත්පතක තිබු ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ ලෙබනන් රැකියා ලබාදෙන බව කියා ශ්‍රමිකයන් අතරමං කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ලෙබනන් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා සංචාරක වීසා මඟින් ශ්‍රමිකයන් එරටට ගෙන්වා ගෙන අතරමං කරන ජාවාරමක් පිළිබඳ ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයට මේ තොරතුරු ලැබී තිබේ.

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ලෙබනනයේ රැකියා ලබාදෙන බව පවසා ඩොලර් දහස් ගණනින් මුදල් ලබාගෙන සංචාරක වීසා මඟින් ඔවුන් එරටට ගෙන්වාගෙන බලාපොරොත්තු පරිදි රැකියා ලබා දී නොමැත.

මේ වංචාවට හසුවී අතරමං වූ ශ්‍රමිකයන් තානාපති කාර්යාලයට පැමිණිය ද ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවීම හේතුවෙන් සහන සැලසීමට ද නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එහෙයින් විදේශ රැකියා සඳහා යොමුවීමේදී කාර්යාංශයේ ලියාපදිංචි අනිවාර්යයෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් කාර්යාංශය ඉල්ලීමක් කරයි.

බොහෝ විට මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට හසුවුවද ඔවුන් මුදල් ගෙවීමට එකඟ වීම නිසා ඇපමත මුදා හැරේ. ඇතැම්විට මේ මුදල් යළි ලැබෙන්නේ ටික ටිකය. සමහරවිට වාරික කිහිපයක් ගෙවා මඟ හැර යන්නට හැකිය.

බොහෝ දෙනෙක් මෙවැනි වංචනිකයන්ට මුදල් දෙන්නේ ඉඩ කඩම්, ගේදොර පවා උකසට තබමිනි. නැතහොත් අධික පොලියකට ණය ලබා ගනිමිනි. එවැනි අවස්ථාවකදී ඔවුන් කිසිවක් කර කියා ගන්නට බැරිතරමට අසරණ වී ජීවිතයේ ඉතිරි කාලය දුක්බර ලෙස ගෙවන්නට සිදුවිය හැකිය. මෙවැනි ජාවාරම්වලට හසුවී පවුල් පිටින් අසරණ වුණු අවස්ථා ද කොතෙක් නම් වාර්තා වී ඇත් ද?

එහෙයින් සිතන්න වරක් දෙවරක් නොව කිහිප වරක් සිතන්න. බුද්ධිමත්ව සිතන්න. ඔබ ජීවිතයේ දකින සිහින වෙනත් කෙනකුට විනාශ කරදමන්නට ඉඩ නොදෙන්න.

ජීවිතයේ ජයග්‍රහණ ලබමින් ඉදිරියට යන්නට නම්, දියුණුව කරා පානඟන්නට නම් සිහින දැකිය යුතුය. උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් ඒ සිහින සැබෑ කරගත හැකිය.

එහෙත් මම යළිත් කියමි. වංචනික, කපටි පුද්ගලයින්ට ඒ සිහින විනාශකර දමන්නට ඉඩ නොතැබීමට වගබලා ගන්න.

එවැනි වංචාවලට හසුනොවී විදෙස් ගතවන්නට අවශ්‍ය නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අලුතින්ම ආරම්භ කර ඇති ‘හරි මඟින් රට යන්න’ සේවාවට ඕනෑම දුරකථනයකින් 1989 ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.

 

2019/08/14 තරුණි බලන්න