අලුතින්ම සිතන්නට යමක්....

අගෝස්තු 21, 2019

අන්තර් ජාලයේ ඇති සමාජ මාධ්‍ය මේ වනවිට පණිවුඩ හුවමාරු කරන ප්‍රබලම මාර්ග බවට පත්ව තිබේ. කිසියම් අයකු ලොව කොතැනක සිට හෝ එයට එකතු කරන අදහසක්, ඡායාරූපයක් හෝ වීඩියෝවක්, වට්ස් අප්, වයිබර්, මෙසෙන්ජර්, ෆේස්බුක්, යූ ටියුබ් වැනි මාර්ගයකින් ලොව පුරා ප්‍රචලිත වීමට ගතවන්නේ විනාඩි කිහිපයකි.

ඕනෑම දෙයක හොඳ සහ නරක දෙකම තිබේ. ඇතැම්හු මේ සමාජ මාධ්‍ය ජාල නරක දේ ප්‍රචාරයට යොදා ගනිති. ඔවුන් හැසිරෙන්නේ ගෝත්‍රිකයන් සේය. ඇතැමුන් ‘වඳුරාට දැලි පිහිය හසුවුණාසේ’ මෙහි ඉවක් බවක් නැතිව කටයුතු කරයි.

එහෙත් සුළු පිරිසක් එසේ කටයුතු කළත් බොහෝ දෙනකු එය හොඳ දේ ප්‍රචාරයට යොදාගනියි.

මේ නිසා නරක දේ අයහපත් දේ ඉවත දමා හොඳ දෙයක්, ජීවිතයට යමක් එකතු කරගත හැකි දෙයක් ඒ තුළින් ලබාගන්නට හැකිනම් එය දියුණුවට හේතුවක් වේවි.

පසුගිය දිනක මට මගේ ඥාති සොහොයුරකු වට්ස් අප් මඟින් අපූරු පණිවුඩයක් එවා තිබිණි. සැබැවින්ම ඉතාමත් කාර්ය බහුල දිවියක් ගෙවමින් මුදල් පසුපස හඹා යන අපට අපේ ජීවිතවලට එකතු කරගත හැකි යමක් එහි ඇතැයි හැඟුණු නිසා ඒ පිළිබඳ ඔබට ඉදිරිපත් කරන්නට සිතුවෙමි.

මුදල් ඇති විට සහ මුදල් නැති විට with money and without money) ලෙස නම්කර තිබූ එය දුටු සැණින් අපේ ජීවිතවලට එයින් ගත හැකි දේ බොහෝ ඇති බව වැටහිණි.

 

  •  මුදල් නැතිවිට ගෙදරදී එළවළු ආහාරයට ගනී. එහෙත් මුදල් ඇතිවිට එම එළවළුම ආපන ශාලාවකින් ආහාරයට ගනී.
  •  මුදල් නැතිවිට ගමන් බිමන් යන්නේ බයිසිකලයෙනි. එහෙත් මුදල් ඇතිවිට එම කාර්යයම ව්‍යායාම මැෂිමකින් කරයි.
  •  මුදල් නැතිවිට ආහාර සඳහා මුදල් සෙවීමට ඇවිදියි. එහෙත් මුදල් ඇති විට ඇවිදින්නේ අධික ලෙස ආහාරගෙන එම මේදය දහනය කිරීම සඳහායි.
  •  මුදල් නැති විට ධනවතකු මෙන් හැසිරෙයි. (ඒජබ) එහෙත් මුදල් ඇතිවිට රඟන්නේ දුප්පතකු ලෙසයි.
  • ඉහත සඳහන් කළේ එහි තිබූ කරුණු අතරින් කිහිපයකි. එසේම එම පණිවුඩයේ තවත් වැදගත් කොටසක් තිබිණි. එයින් කියැවුණේ මේ දේවල් අතහරින්න, එය ඔබේ ජීවිතයට ප්‍රාතිහාර්යයක් වේවි යන්නයි.
  •  නැතිබැරි කෙනකුට රුපියල් 10 ක් 20 ක් දුන්නත් රුපියල් 200 ක් හොඳටම වැඩි මුදලක් ලෙස සිතන අයකු කිසිම ලෝබකමක් නැතුව ආපන ශාලාවකදී සන්තෝෂමක් ලෙස එවැනි මුදලක් හෝ ඊට වැඩි මුදලක් වුව දෙයි.
  •  මුළු දවසම වෙහෙස වී වැඩ කළාට පසුත් ශරීර සුවතා මධ්‍යස්ථානයේ ගත කිරීමට කාලය තිබේ.නමුත් ඔබේ මවට නිවෙසින් බැහැරට ගන්නට, උදවු කිරීම මහා කරදරයක් ලෙස සිතයි.
  •  දවසකට විනාඩි 3ක් ආගම ඇදහීම වෙනුවෙන් වැය කිරීම මහා ලොකු දෙයක් සිතයි.එහෙත් ඔවුන් සිනමා පටයක් නැරඹීමට පැය 3ක් කිසිම ලෝබකමක් නැතුව වැය කරයි.

 

 

2019/08/21 තරුණි බලන්න