පාස්කු ප්‍රහාරයෙන් දරුවන් තිදෙනකු අහිමි වූ පොව්ල්සන් යුවළට නිවුන් දැරියන්

අප්‍රේල් 1, 2020

දෙවියන් යදිමින් සිටි මිනිසුන්ට සිදුවූයේ සිය ජීවිතවලින් වන්දි ගෙවන්නටයි. එපමණක් නොව ලොව නන් දෙසින් මේ පුංචි දිවයිනේ විසිතුරු දකින්නට පැමිණි විදේශිකයන්ට සිදුවූයේ ද එයමයි.

දහසක් බලාපොරොත්තු පොදි බැඳගත් ඒ මිනිසුන්ට කිසිදු විරාමයක් නොදීම මරුවා සමඟ යන්නට සිදුවිය. ඒ අපේ රටේ පසුගිය වසරේ පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය හේතුවෙනි.

ලොවම කම්පා කරමින් සිදුවුණු මේ ඛේදවාචකය බිරියන්ට සැමියන් අහිමි කළේය. සැමියන්ට බිරියන් අහිමි කළේය. දූ දරුවන්ට මාපියන් අහිමි කළේය. මාපියන්ට දූ දරුවන් අහිමි කළේය. මේ අහිමි වීම් අතරේ සිටි මාපිය යුවළකට තම ආදරණීය දියණියන් දෙදෙනෙක් සමඟ එකම පුතු ද අහිමි කළේය. ඒ පියා ලොව ධනවත්ම පුද්ගලයෙකි. ඔහු ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතියකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්ය. ඒ ඛේදනීය අත්දැකීමට මුහුණ දුන් මව ඔහුගේ බිරිය ඈන් ය.

ඒ අමිහිරි අත්දැකීමෙන් වසරකටත් අඩු කාලයකින් ඔවුන් නැවතත් මාපියන් බවට පත්වී ඇති පුවත ලොව පුරා සිසාරා ගියේය. සැබැවින්ම එය කනට මීබිඳු වත්කරන්නාක් වැනි පුවතකි. විශේෂයෙන්ම එය ලාංකිකයන්ට ද සතුටට කරුණකි. ඒ, මේ මාපියන්ට තම දරුවන් අහිමි වූයේ අපේ රටේ දී බැවිනි. ඔවුන් මාපියන් බවට පත්වී ඇත්තේ එක් දරුවකුට නොව දරුවන් දෙදෙනකුටය. ඒ නිසා සතුට තවත් වැඩිය. ඒ නිවුන් දරුවන් දෙදෙනා දියණියන් වීම තවත් විස්මයකි. මේ ඔවුන්ට මෙරට දී අහිමිවූ ඔවුන්ගේම දියණියන් දෙදෙනා විය නොහැකිද?

දැන් මේ ආදරණීය මාපියෝ සහ ඉතිරි වූ දියණිය තම පවුලට පැමැණි නිවුන් දැරියන්ගේ උපත සමරමින් සිටිති. එය ඔවුන් හා ලෝකයා හඳුන්වඡ්නේ "කුඩා ප්‍රාතිහාර්යයන් දෙකක්" ලෙසයි. නිවුන් දියණියන් සමඟ මේ මාපියන් මාර්තු 11 වැනිදා පෙරවරුවේ ආරක්ෂිතව ඩෙන්මාර්කයට පැමිණ ඇත. මේ පිළිබඳ ඔවුන්ගේ පෞද්ගලික ලේකම් ක්‍රිස්ටීන් මන්ස්ටර්ගේ මෙලෙස ප්‍රකාශයක් නිකුත්කර ඇත. “2020 මාර්තු 11 වැනි බදාදා ඈන් සහ ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් අලුත උපන් නිරෝගී ගැහැනු ළමයින් දෙදෙනකුගේ මවුපියන් බවට පත්විය.

"ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ප්‍රාතිහාර්යයක් බඳු මේ කුඩා දැරිවියන්ට හදවතින්ම සුබ පතනවා. සිඟිත්තියන් දැක ගැනීමටත්, ඔවුන්ගේ පවුලේ ජීවය තහවුරු කරන කොටසක් ලෙස ඔවුන්ව පිළිගන්නා ඔවුහු මහත් සේ ප්‍රීති වෙති."

ලෝ ප්‍රකට 'බෙස්ට්සෙලර්' හි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම එහි හිමිකරු පොව්ල්සන් මහතා ෆෝබ්ස් සඟරාව විසින් ඩොලර් බිලියන 6.4 ක් වටිනා ධනස්කන්දයක් හිමි අයකුබව ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් යුරොපීය රටවල ජනප්‍රිය අන්තරජාල වෙළෙඳාම සිදුකරන අසොස් හි ප්‍රධාන කොටස් හිමිකරුවා ද ඔහුය. එමෙන්ම ඔහු ඉඩම් හිමි වැවිලිකරුවෙකි. බ්‍රිතාන්‍යයේ වැඩිම පෞද්ගලික ඉඩම් හිමිකරුවා වන්නේ ද පොව්ල්සන් මහතාය. ග්ලෙන්ෆෙෂි, ගයික් සහ කිනාරා වතුවල හිමිකරු ය. යුරෝපීය රටවල මෙන්ම අනෙකත් දේශයන්ගේ ද ඔහුට ඉඩම් ඇත. අක්කර දහස් ගණනක් වත්තක් වෙන්වී ඇත්තේ වන උද්‍යානයකටයි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් වන රතු ලේනුන්, මුගටියන්, ස්කොට්ලන්ත වන පූසන්, බ්ලැක් ගෲස් නම් කුරුලු විශේෂ වර්ධනය වීමට අවශ්‍ය පරිසරය මෙහි සකසා ඇත. ඊට අමතරව සත්ත්ව සහ ගහකොළ සංරක්‍ෂණයේ වැදගත්කම පිළිබඳ ළමයින් දැනුවත් කිරීම සඳහාත් ඔහු ක්‍රියාකරයි.

සිය පාස්කු නිවාඩුව සඳහා පොව්ල්සෙන්ස් ශ්‍රී ලංකාවට පැමිණි අතර බෝම්බ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් අට දෙනකු ඇතුළු පුද්ගලයින් 290 දෙනෙකු මිය ගියහ. ඒ අතර ඔහුගේ දරුවන් තිදෙනා ද විය. ප්‍රහාරයට දින තුනකට පෙර පොව්ල්සන් මහතාගේ වැඩිමහල් දියණිය ඇල්මා තම සහෝදර සහෝදරියන් වන ඇස්ට්‍රිඩ්, ඇග්නස් සහ ඇල්ෆ්‍රඩ්ගේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් මඟින් බෙදාහදා ගෙන තිබුණේ ඔවුන් සතුටින් ඉන්නා බවත් සිය සංචාරයේ සුන්දරත්වයත් කියන්නටයි.

කොළඹ ෂැන්ග්‍රි ලා හෝටලයේ නිවාඩුවක් ගත කරමින් සිටිය දී 47 හැවිරිදි කෝටිපතියා සහ ඔහුගේ බිරිය ඈන්ට පස් හැවිරිදි ඇල්ෆ්‍රඩ්, දොළොස් හැවිරිදි ඇග්නස් සහ පහළොස් හැවිරිදි ඇල්මා අහිමි විය. ඔවුන්ගේ දස හැවිරිදි බාල දියණිය ඇස්ට්‍රිඩ් පමණක් දිවි ගලවා ගත්තේය. මේ ඛේදවාචකයෙන් බොහෝ අය ඔවුන් සනසන්නට ලිපි ලිවීය. ආදරබර වචන පැවසීය. සෙත් පැතුහ. ඒ ආහීර්වාදයන්ගේ ප්‍රතිඵලය මේ අලුත උපන් නිවුන් දියණියන් දෙදෙනාය. පොව්ල්සන් පවුල ස්කොට්ලන්තයේ වැසියන්ට ඔවුන්ගේ අමිහිරි වේදනාවන් සමනය කරන්නට වෑයම් කළ, ඔවුන්ව ශක්තිමත් කළ සැනසිලිදායක වචනවලට ස්තූති කරමින් විවෘත ලිපියක් ලිවීය. එම විවෘත ලිපියේ පොව්ල්සන් දරුවන්ගේ ක්‍රිස්තියානි නම්වල මුලකුරු ද අහසින් වැටෙන පිහාටු තුනක රූපයක් ද විය.

 

අන්තර්ජාලයෙනි