මේ රටේ තියෙන්නේ ඕනෑම එළවළුවක්, පලතුරක් වැවෙන හොඳ පසක්

අප්‍රේල් 22, 2020

- සාරංග දිසාසේකර

 

කාලාකරුවන් වැඩි පිරිසක් දැන් ගෙවතු වගාවට යොමු වෙලා නේද?

ඔව් මං හිතන්නේ කලාකරුවන්ගේ මේ ආදර්ශමත් ක්‍රියාව අනිත් අයටත් ලොකු ආදර්ශයක් වෙයි. ඉතිං මමත් කලාකරුවෙක්.. මේ රටේ පුරවැසියෙක් විදියට ගෙවත්තෙ එළවළු පැළ කිහිපයක් හිටෙව්වා. ඇඹරැල්ලා, වම්බටු, මිරිස්, මාලු මිරිස් වගෙ එළවළුත්, නිවිති, මුකුණුවැන්න වගේ පලා වර්ගත් අපේ ගෙවත්තෙ තියෙනවා.

හැමෝම දැන් ගෙවතු වගාවට යොමු වෙලා. මං නම් හිතන්නෙ නැහැ දැන් රම්පෙ, කරපිංචා නැති ගෙයක් ඇති කියලා. ඒවත් අපි කඩෙන් ගන්නවානම් ඇත්තටම අපි ඒක මේ රටට කරන ලැජ්ජාවක්. මේ රටේ තියෙන්නෙ ඕනෑම එළවළුවක් පලතුරක් වවන්න පුළුවන් හොඳ පසක්. ඒකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනෙ.

සමහර දේවල් සාර්ථක වේවී. සමහර දේවල් අසාර්ථක වේවී. උත්සාහයයි වැදගත්. ඉතිං මෙ ගෙවෙනා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

 

*********************

 

උදේට නැගිට්ට ගමන් මගෙ පැළ ටික බලන්න යන්නෙ

 

- ශලිනි තාරකා

 

 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

අනිත් හැමෝම වගේ මාත් ගෙදරට වෙලා ඉන්නවා. ෆිල්ම් බලනවා පොත් කියවනවා. හැබැයි ඉතිං ඒකත් දිගටම කළොත් එපාවෙනවනෙ. ඉතිං මාත් හිතුවා මේ නිවාඩු කාලයේ ප්‍රයෝජනවත් දේවල් ටිකක් කරන්න.

මං ගෙවත්තෙ එළවළු පාත්තියක් දැම්මා. හැබැයි මාලු මිරිස්, මිරිස්, වම්බටු, කරපිංචා, රම්පෙ වගේ දේවල් නම් කලින් ඉඳලම වගා කරලා තිබුණා.

මේ දවස්වල මං හදපු පාත්තියෙ තක්කාලි, දඹල, වට්ටක්කා, බෙල්පෙප වගෙ එළවළුත් වගා කළා. පාත්තිය සකස් කරද්දි පොළව කොටලා ගොම පොහොර සහ කොහුබත් එකතු කළා. වැස්සට සෝදායෑම වළක්වාගන්න ඕනෙ නිසා පාත්තිය වටා පොල් ලෙලි ආවරණයකුත් දාලා තියෙන්නෙ. දැන් ඉතිං මගේ දවස ගෙවෙන්නේ මේ වගාවත් එක්කයි.

ගෙවතු වගාවට යොමු වීමෙන් ලැබෙන මානසික සතුට ගැන ඔබට හිතෙන්නෙ කොහොම ද?

අපි වවපු ගහක ගෙඩියක් හැදෙද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. මෙච්චර කාලයකට අපි මාලු මිරිස්, මිරිස්, රම්පෙ, කරපිංචා කඩෙන් අරගෙන නැහැ. ගෙවත්තෙන්මයි ගත්තෙ. ඒකෙන් වස විස රහිත එළවළුවක රස බලන්නත් ඉඩ ලැබෙනවා.

උදේ නැගිට්ට ගමන් මං මගෙ පැළ ටික බලන්න යන්නේ. කොරොනා නිසාම නෙවෙයි කොරොනා තුරන් වූවාට පසුවත් මේ ගෙවත්ත දිගටම නඩත්තු කිරීමෙන් ආර්ථිකයටත් ලාභයක්. සිතට සතුටක්. ඒ වගේම සෞඛ්‍යටත් හොඳයි. කියලයි මටහිතෙන්නේ.

 

************************

මං ඒකට කියන්නේ මුරුංගා දේවතාවිය කියලා

දිනක්ෂි ප්‍රියසාද්

 

පසුගිය දා ඔබේ ගෙවතු වගාව ගැන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා...

ඔව්. නමුත් අපි ගෙවතු වගාවට යොමු වුණේ මේ ව්‍යසනය එන්නත් කලින්. අපිට තියෙන්නෙ සීමිත ඉඩකඩක්. අම්මා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි උත්සහ කළේ. ඉතින් අපිත් අම්මට උදව් වුණා. ඒ විදියටයි වගාවට මෙතරම් කැමැත්තක් උනන්දුවක් ඇති වුණේ.

අපේ ගෙවත්තේ සාරවත් පැපොල් ගසක් තියෙනවා. මිරිස් පැළ කිහිපයක් වගේම රම්පෙ, කරපිංචා, නිවිති, කංකුං වැනි පලා වර්ගත් හොදින් වැඩී තියෙනවා.

බුලත් වැලක් වවලා තියෙනවා. කවුරු හරි බුලත් ඉල්ලන් අවොත් අපි දෙනවා. ගොඩක් වෙලාවට මුහුණ පැහැපත් කරගන්න භාවිතා කරන්නෙත් ගෙවත්තෙ වවලා තියෙන කෝමාරිකා.

දෙහි, කාමරංකා, නාරං වැනි පැඟිරි කුළයේ ශාක කිහිපයක්ම ගෙවත්තේ තියෙනවා. ඉතිං අපි විවිධ පාන වර්ග සකසන්නත් ගන්නෙ ඒවම තමයි. පේර ගහෙත් මේ දවස්වල ගෙඩි පිරිලා. දෙළුම්, ඩ්‍රැගන් ෆෘට් වැනි පලතුරුත් අපේ කුඩා ගෙවත්තෙ තියෙනවා.

මේ දවස්වල අලුතෙන් වගා කළේ මොනවගෙ පැළ වර්ග ද?

ගිය සතියෙ අපි කොත්තමල්ලි බීජ තවාන් කළා. දැන් පැළ මතු වෙලා. අහක දාන සෘජූෆෝම් පෙට්ටියක් ඒ සඳහා යොදා ගත්තෙ. ඊයේ මුරුංගා පැළයක් හිටෙව්වා. මං ඒකට කියන්නේ මුරුංගා දේවතාවිය කියලා. ඒකට වැඳුම් පිදුම් කරනවා කියන්නෙ අපි ආ පැළයට ආචාර කරනවා කියන එක. අද කෙසෙල් පැලයක් හිටෙව්වා. තව පෝච්චි කීපයක්ම සූදානම් කරලා තියෙන්නේ පැළ ලැබුණාම වගා කරන්න.

 

*********************

 

අම්මා තමයි මාව ගෙවතු වගාවට යොමු කළේ

 

අමන්දා ජයරත්න

ඇයත් මේ විදිහට ඇගේ ගෙවත්ත ගැන අදහස් දැක්වූවා..

මට මතක ඇති කාලෙක ඉඳන් අම්මත් එක්ක ගෙවත්තෙ වැඩ කළා. අම්මාගෙ එළවළු වගාවට මාත් උදව් වෙනවා. එතකොට මං ගොඩක් පොඩියි. අම්මා තමයි මාව ගෙවතු වගාවට යොමු කළේ. දැන් අම්මයි මායි එකතු වෙලා එළවළු, පලතුරු හිටවනවා.

අඹ ගහක්, පැපොල් ගහක් වගේම රඹුටන් ගහකුත් අපේ ගෙවත්තෙ තියෙනවා. කරපිංචා, රම්පෙ, කරවිල, කතුරුමුරුංගා, නිවිති වගේම පොඩි කොහිල කොටුවකුත් තියනවා. ඉතිං මේ දවස් ටිකේ අපි හිතුවා මේ වගාවට තවත් එළවළු වර්ග කීපයක් එකතු කරගන්න ඕනේ කියලා. අපි පෝච්චිවල මාලු මිරිස් හිටෙව්වා.

අපේ ගෙවත්තේ පොඩියට හරි එළවළු පැළයක් දෙකක් වගා කලොත් අපිට කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ. ඉතිං මෙවැනි කොරොනා වසංගත තත්වයකදී එළියට බහින්නවත් බෑ. කන්න බොන්න බඩු ගෙන්න කඩයකට යන්න විදියක් නෑ. මොනවහරි වවල තිබ්බනම් ඒවා ආහාරයට ගන්න පුළුවන්. මේ අවස්ථාව අපිට කරන දැනුම් දීමක් කියලා හිතන්න. ඉදිරියේදී මොන දේවල් සිදු වුණත් බය නැතුව ජීවත් වෙන්න මේක හොඳ අවස්ථාවක්.