කවරයේ කතාව

මැයි 27, 2020

පංච කල්‍යාණයෙන් හෙබි යුවතිය ශ්‍රියාකාන්තාව පරදන සුන්දරත්වයක් හා වාසනාවක් ගෙනඑන බව ඈත කාලයේ පටන් පිළිගත් මතයකි. යුවතියකගේ සුන්දරත්වය ඇගේ පෞරුෂය නිරතුරුවම ආරක්ෂා කරයි. රූපලාවණ්‍ය ශිල්පය වර්තමාන යුවතියන් රුවින් බබළවන කලාවකි. කර්මාන්තයකි. වෘත්තියකි. වර්තමානයේ රූපලාවණ්‍ය ශිල්පය අතු ඉති පුරා විහිදුණු විසල් ගසක් වැනිය. වෘත්තීය මට්ටමේ ශිල්පි ශිල්පීනියන්ගේ සිට ක්ෂේත්‍රයට පැමිණෙන කෝඩුකාරයන් පවා රූපලාවණ්‍ය ශිල්පයට ආසක්ත වෙමින් සිටී.

එතෙක් මෙතෙක් කාලය තුළදී ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් රූපලාවණ්‍ය ශිල්ප ශිල්පීන් තිදෙනෙක් සමඟ කතා බහ කරන්නයි මේ සූදානම. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී මරීනා පෙරේරා, හසිනි ගුණසේකර සහ රූපලාවණ්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර අද තරුණී කවරය සරසමින් මෙලෙස කතා බහකට එකතු වූවා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු තායිලන්තයට ගොස් කළමනාකරණ උපාධිය හැදැරුවා

හසිනි ගුණසේකර

 

ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ යෞවනියක ලෙස සිටින සමයෙදී. ඒ ඇගේ මවගෙන් ලත් ආභාෂයෙනි. ඇය ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පිනී දීපිකා ගුණසේකර.

රුපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඇගේ අඩිපාරේ යන හසිනි ගුණසේකරත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වන චරිතයක්. ඇය රුපලාවණ්‍ය ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් වගේම ආදරණීය කැදැල්ලක හිමිකාරිණියක්.

මේ දිනවල කාලය ගත වෙන්නේ කොහොමද?

ලොකු නිවාඩුවක් ලැබුණා කොරෝනා ව්‍යසනය නිසා. ඒ වගේම පසුගියදා රූපලාවණ්‍ය ආයතන නැවත විවෘත කරන්නත් රජයෙන් අනුමැතිය ලබා දුන්නා. ඉතිං පසුගිය 11 වෙනිදා මගේ රූපලාවණ්‍ය ආයතනත් විවෘත කළා. ඒ නිසා නැවත ඒ කටයුතු ගැන බලනවා.

රූපලාවණ්‍ය ආයතන නැවත විවෘත කිරීමට රජයෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා නේද?

ඔව්. සෑම රූපලාවණ්‍ය ආයතනයක්ම විවෘතව ක්‍රියා කළ යුත්තේ රජයෙන් දැනුම් දුන් ක්‍රියාපටිපාටියට අනූවයි. ඒ සඳහා වෙනමම නීති මාලාවක් පවා සකස් කර තිබෙනවා. ඒ උපදෙස්, නීති සෑම රූපලාවණ්‍ය ආයතනයකටම පොදුයි.

මමත් ඒ දේවල් ඒ විදිහටම පිළිපදිනවා.

මගේ සැලෝන් එක විවෘත කිරීමේ කටයුතු වෙනුවෙන් පසුගිය සතියම කැප කළා. සැලෝන් එකේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන පමණක් නෙවෙයි වැඩ කරන ළමයි ගැනත් හිතන්න ඕනේ. මගේ සැලෝන් එකේ දුර ප්‍රදේශවල ළමයිනුත් වැඩ කරනවා. ඉතිං එයාලව මෙහෙට ගේන්න අවසර අරගෙන ඔවුනගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය දේවල් කළා.

රජය විසින් ගෙන යන මේ වැඩපිළිවෙළ ඉතාම අගය කළ යුතුයි. මේ ක්‍රියාවලිය නිසා ලොකු අවධානමකින් ගැලවුණා. මම ජාත්‍යන්තරයේ දේවල් ගැනත් නිරන්තර අවධානයෙන් ඉන්න කෙනෙක්. අනෙක් රටවලත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන මේ විදියටමයි කටයුතු කරන්නේ. මේ විදිහට නැවත සැලෝන් විවෘත කිරීමෙන් ආර්ථිකයටයත් හොඳයි. මේ කාලයේ කාටත් ආර්ථික ගැටලුවලට මුහුණ පාන්නට සිදු වීම සාමාන්‍යයයි. නමුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට ඒ කටයුතු කරගෙන ගියොත් ගැටලුවක් ඇති වන්නේ නැහැ.

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොම ද?

අම්මා දීපිකා ගුණසේකර.

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.