රෝගීන්ට සැනසීමක් ලබාදෙන හෙදියක් වන්නට ලැබීමඇත්තටම හරිම තෘප්තියක්

ජුනි 10, 2020

 

පුෂ්පා රම්‍යානි සොයිසා

ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී

ජාතික රෝහල

 

රණවිරුවන් සේම සුව විරුවන් ගැන ද මහත් අභිමානයෙන් සිහිපත් කරනා මේ අවධියේ දී අපට අමතක කළ නොහැකි තවත් එක් පිරිසකි නයිටිංගේල් දියණියන්.

ඒ අතරින් අද අපේ කතාබහට ලක්වන්නී සුවිශේෂී නයිටිංගේල් දියණියකි.

ඇය කොළඹ ජාතික රෝහලේ, ජාතික පුහුණු කිරීමේ නිලධාරිනියයි. එනම් ඒ තනතුර දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම හෙද නිලධාරිනිය ද ඇයයි.

තරුණී පුවත්පත සමඟ දීර්ඝ කාලයක් පුරාවට රැඳී සිටිනා නම කියූ සැණින් ඔබ හොඳින් දන්නා හඳුනන ඇය පුෂ්පා රම්‍යානි සොයිසා. තම පෞද්ගලික ජීවිතයටත් වඩා වෘත්තීය ජීවිතයට ආදරය කරන, එය නිසියාකාරව ඉටු කරන්නට අසීමිතව කැපවන, වෙහෙසවන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නයිටිංගේල් දියණියක වූ ඇයයි අද අපේ කතාබහට එක්වන්නේ.

ඉතින් එන්න, අර්ථාන්විත ඇයගේ ජීවිතය ගැන කියවන්න.

අපි මුලින්ම ඔබගේ ආදරණීය අම්මා, තාත්තා ගැන දැනගනිමු.

“මගේ තාත්තා විජේදාස සොයිසා. එයා දක්ෂ වෙද මහත්තයෙක්. එතකොට අම්මා මැගිලින් සිල්වා. ගෘහණියක් විදිහට ගේදොර වැඩ කරගෙන අපිවත් බලාකියා ගත්තා. අම්මයි තාත්තයි දෙන්නම අම්බලන්ගොඩ. ඒත් විවාහයත් සමඟම කොළඹ පදිංචියට ඇවිත්. ඉතින් අපේ ගම්පියස වුණේ රත්මලාන ප්‍රදේශය.”

දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලක බඩපිස්සිය ඔබයි.

“ඔව්. මගේ පවුලේ අක්කලා දෙන්නයි, අයියයි, මමයි. ඉතින් අක්කලයි, අයියයි මට වඩා ගොඩාක් වැඩිමහල්. ඒ නිසා පවුලේ බාලයා විදිහට හැමෝගේම ආදරය මැද්දේ තමයි මම හැදුණේ වැඩුණේ.”

ඒ කියන්නෙ ඔබට ලස්සන ළමා කාලයක් තිබුණා.

“අපොයි ඔව්. මට හරිම ලස්සන ළමා කාලයක් තිබුණා. කිසිම බරපතළක් නැතිව නිදහසේ සතුටින් කාලය ගත කළා. අපේ පවුල හරිම එකමුතුයි. අම්මයි, තාත්තයි ගෙදර දොර කටයුතු හැමදෙයක්ම කළේ එකටමයි. ඒ විතරක් නෙවෙයි අපිවත් ඒවාට හවුල් කරගත්තා. ගෙවල් අස්පස් කරන්න, මකුළු දැල් කඩන්න, ගෙවත්ත වගා කරන්න, පොළට යන්න මේ හැමදේටම අපිව දායක කරගත්තා. උදාහරණයක් විදිහට ගෙවත්තෙන් කෙසෙල් කැනක් කැපුවා කියලා හිතමු. ඒක කපන තැන ඉඳලා එය ඉදවා ගන්නා තැන දක්වා හැමදේටම අපි කවුරුත් සහභාගී වෙනවා. ඇත්තටම මේ සමගිය අපේ ජීවිත ගොඩනඟා ගන්න හරි ශක්තියක් වුණා.”

එතකොට ඔබේ පාසල ?

“මම අධ්‍යාපනය හැදෑරුවේ ගල්කිස්ස උසස් බාලිකාවෙන්. ගුණගරුක, කීකරු ශිෂ්‍යාවක් විදිහට පාසල් කටයුතු කරගෙන ගිය මම හැමදාමත් පන්තියේ පළමුවැනියා. මම කවදත් තරග කළේ මා සමඟමයි. අනෙක් අයට වඩා ඉදිරියට යන්න ඕනේ කියන හැඟීමට වඩා මට ඕනේ වුණේ හැමදේම හොඳටම කරන්නයි.”

ඒ කියන්නෙ ඔබේ අනාගත වෘත්තිය පිළිබඳ සිහිනයක් තිබුණා.

“ඇත්තටම මට කිසිම වෘත්තියක් පිළිබඳ සිහිනයක් තිබුණේ නැහැ. නමුත් ඒ වෙනකොට මගේ ලොකු අක්කා සහකාර විදුහල්පතිනියක්. අයියා සිවිල් ඉංජිනේරුවෙක්. අනෙක් අක්කා ජ්‍යෙෂ්ඨ හෙදියක්. ඉතින් අම්මා විහිළුවට වාගේ කිය කියා හිටියේ ඔයා වෛද්‍යවරියක් වෙන්න කියලයි.”

හැබැයි ඔබ පාසලේ බාහිර වැඩ කටයුතුවල යෙදෙන හරිම ජනපි‍්‍රය චරිතයක්.

“මට සිහිනයක් තිබුණේ නෑ වගේම පාසලේ දී මම නොකරපු දෙයකුත් නෑ. ඒ තරමටම විෂයය බාහිර කටයුතුවල යෙදුණා. නටන්න, ගයන්න, සිංදු කියන්න, චිත්‍ර අඳින්න, ක්‍රීඩා කරන්න විතරක් නෙමෙයි කථික තරගයෙන් ලංකාවෙන් පළමුවැනියා වෙමින් පාසලට ජයග්‍රහණ ලබාදෙන්නත් මට හැකි වුණා. ඒ වගේම තමයි පාසල් වේදිකාවටත් මම නැතිවම බැරි චරිතයක් වුණා. ඇත්තටම කිව්වොත් මම චුට්ටක් දඟයි. පුංචි පුංචි දඬුවම් විඳලත් තියෙනවා. ඒ කොහොම වුණත් මම පාසලේ ගුරුවරුන්, ළමයින් අතර හරිම ජනපි‍්‍රය චරිතයක්.”

කලා දක්ෂතාවයන්ගෙන් ඉහළට යන්න හැකියාව තිබුණත් ඔබ උසස් පෙළට ජීව විද්‍යාව තෝරාගත්තා.

“ඒ සඳහා අම්මාගේ යම් බලපෑමක් තිබුණා. මොකද මම උසස් පෙළ පන්තියට ගියා විතරයි එයා මගේ සියලුම බාහිර වැඩ කටයුතු නවත්තලා දැම්මා. මගේ පස්සෙන් ඉඳගෙන මාව උනන්දු කළා. ඒත් ඉතින් දෛවය වෙනස් කරන්න බෑ කියනවා වාගේ මම පළමුවර විභාගය හොඳින් සමත් වුණත් වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඒ නිසා තවත් සැරයක් විභාගයට සූදානම් වුණා.”

 

2020/06/08 තරුණි බලන්න.