බාහිර ආටෝප වලට වඩා දුගියකුට උදව් කිරීමෙන් විශාල ආත්මීය තෘප්තියක් ලැබෙනවා

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
දෙසැම්බර් 23, 2020

 

මගේ නත්තල දුගියා බත් කන දාය

මගේ නත්තල වැරහැලි නැතිවන දාය

මගේ නත්තල ඔබේ දුක සැනහෙන දාය

මගේ නත්තල පව පල්ලිය යන දාය

 

ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ලියූ එම පැදියෙහි ගැඹුරු අරුත අපට මේ වසරේ වෙනත් වසරවලට වඩා තදින්ම දැනෙයි. දුගියා බත් කන නත්තලේ අධ්‍යාත්මික අරුත සොයා අප මෙවරත් නත්තලට පෙර අගරදගුරු නිවෙස වෙත පිය නැඟුවේ සැමට ළෙන්ගතු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකින්නටය.

වෙනදාට නත්තල් සිරියෙන් උතුරා ගලන කොළඹ නගරය නිසලය. රථවාහනවලින් පිරී ඉතිරී යන කිංසි පාර හරිම නිහඬය. වේගයෙන් ඇදීයන රථවාහන දෙක තුනක් හැර කර්කෂ වූ මාර්ගයේ ඇත්තේ තරමක පාළු ස්වභාවයකි. එම පාළුව අතුරින් අප අගරදගුරු නිවෙස වෙත පියනැගුවේ වෙනදාට වඩා හරිම පහසුවෙනි.

නත්තල උදාවෙන්නට තවත් ඇත්තේ දින දෙකක් පමණක් වුවත් නිසල තුරුගොමු මැද වූ සුවිසල් රදගුරු මැඳුරද බාහිර සැරසිලි වලින් තොරවීම නිසා නත්තල් සිරියක් නැති සෙයකි.

ලොව පුරා පැතිර යන කෝවිඩ් වසංගතය හමුවේ අපට නත්තල වෙනදා මෙන් සමරන්නට හැකිද? එසේ නම් අප කෙසේ නත්තල සමරමුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට සූදානමින් අගරදගුරුතුමන් දැන් අප ඉදිරියේ සුපුරුදු ළෙංගතු හසරැලි මුවඟ රඳවාගෙනය. උන්වහන්සේගේ හෘදයාංගම පිළිගැනීමෙන් පසු සුපුරුදු ගැඹුරු හඬින් කතා බහ ඇරැඹූහ.

"අප දැන් සිටින්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවක. අපේ රටේ බොහෝ දෙනෙක් කෝවිඩ් වසංගතය නිසා පීඩා විඳීනවා. ඒ වගේම මේ රෝගයට ගොදුරුවන ප්‍රමාණය දවසින් දවස වැඩිවෙනවා. මරණ ප්‍රමාණයත් වැඩියි. මෙය අපේ රටේ කිසිම ජන පොකුරකට විශේෂිත වූ රෝගයක් නොවෙයි. හැමෝටම එක සමානව වැළඳීය හැකි ඉතාම ඉක්මනින් පැතිරි යන රෝගයක්. මේ නිසා අපේ රටේ පැවැත්වූ විශේෂිත ආගමික උත්සව සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ. අවුරුදු උත්සවය, වෙසක්, පොසොන් උත්සව, තෛයිපොන්ගල් උත්සවය, මහමුද් නබිතුමාගේ උපන්දිනය වැනි විවිධ ආගමික උත්සව ගණනාවක්ම පැවැත්වීමට සහ සැමරීමට ජනතාවට අවස්ථාව හිමිවුණේ නැහැ. ඒ නිසා තව දින කිහිපයකින් උදාවෙන නත්තල ගැනත් කතා කිරීම ඉතාම වැදගත්. අනෙක් ආගමික උත්සව වගේම නත්තල් උත්සවයත් සැමරුම් කළ යුතු බවයි මගේ අදහස. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ කෝවිඩ් වසංගතය ඉතාම තදින් පවතිනවා. ඒ නිසා වෙනදා වගේ නත්තල් උත්සවය සමරන්න විවිධ දේ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඔබ අප නත්තල් උත්සවය සැමරිය යුත්තේ කොයි ආකාරයෙන්ද? අපට මුලින්ම පැහැදිලි කරන්න පුළුවන්ද?

"අප මේ වසරේ ආගමික පිළිවෙත්වලට විතරයි මුල්තැන දෙන්නේ... ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා සංචරණය අවම කරන්න කියලා. කොළඹට ඇතුළුවීමත්, කොළඹින් පිටතට යෑමත් අවම කිරීම ඉතාම වැදගත් දෙයක්. විශේෂයෙන් නත්තල් කාලයේ අපගේ වැඩිහිටියන්, නෑ හිතුමිතුරන් බැලීමට යෑමට අප පුරුදුවී සිටිනවා. නමුත් මේ වසරේ ඒ වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන සිතා ඔවුන් බැලීමට යෑමෙන් වැළකී සිටීම තමා වඩා වැදගත්. එසේම පවුලේ අයට තෑගි දෙන්න තෑගි මිලදී ගන්න සාප්පු සවාරි යෑමත් අවම කිරීම කාලෝචිතයි. පුළුවන් නම් මෙවැනි දේ සඳහා එක් පවුලකින් එක් සාමාජිකයෙක් පමණක් යෑමෙන් ඒ කටයුතු සපුරා ගැනීම වඩාත් ආරක්ෂිතයි. ඒ වගේම මේ වසරේ මුදල් නාස්තියත් අවම කර ගැනීම වැදගත් දෙයක්."

මෙවර නත්තල අර්ථවත් කිරීමට අපට කළහැකි පුන්‍ය කටයුතු ගැනත් සිහිපත් කළොත්...

"එය ඉතාම වැදගත් කටයුත්තක්. මේ වසංගතය නිසා සියදහස් සංඛ්‍යාත පිරිසකට රැකියාව අහිමි වෙලා තියෙනවා. එවැනි පවුලකට උපකාර කරන්න පුළුවන් නම් එය ඉතාම වටිනවා. ඇත්තටම තමුන්ගේ ඥාතීන්ටයි, පවුලේ අයටයි තෑගි දීමෙන් නත්තලේ වටිනාකම ලැබෙන්නේ නැහැ. නැතිබැරි කෙනෙකුට පිහිටවීම ඉතාම වටිනා ක්‍රියාවක්. එසේම මෙවර විනෝදගමන් යාමත්, සාද පැවැත්වීමත් නොකළ යුතුයි. මෙවැනි ක්‍රියා නත්තලේ ගැඹුරු අධ්‍යාත්මික අර්ථය විනාශ කිරීමක්. නත්තල කියන්නේ ජොලි කරන උත්සවයක් නොවෙයි. එය අධ්‍යාත්මිකත්වයට මුල්තැන ලබා දෙන උත්සවයක්. එවැනි කටයුතු සඳහා නත්තල පාවිච්චි කිරීමට අපි විරුද්ධයි. පවුලක් ලෙස තම නිවෙසේ සාමාජිකයන් සමඟ නත්තල සමරන්න කියලා තමයි මම විශේෂයෙන්ම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන් දිළිඳු ගව හලක උපන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙනෙහි කරමින් දිළිඳුන් සමඟ මේ නත්තලේ ප්‍රීතිය බෙදා ගන්න."

නත්තල් උත්සවය සඳහා මෙවර රජයෙන් ලැබෙන දායකත්වය මොනවාද?

"විශේෂයෙන්ම රජයේ සහ රාජ්‍ය ආයතනත් පෞද්ගලික ආයතනවලිනුත් මම ඉල්ලා සිටිනවා මෙවර නත්තල වෙනුවෙන් සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන විශේෂ උත්සව, මහා පරිමාණයේ සැණකෙළි, සැරසිලි නොපවත්වා ඒ සඳහා වැය කරන මුදල් අසරණ දුප්පත් මිනිසුන්ට ලබා දෙන්න. රජය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නීතීන්ට අනුකූලව ඉතාම චාම් අන්දමින් මෙවර උත්සවය සමරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

නත්තල් දේව මෙහෙය නත්තලේ විශේෂිතම අංගය. මෙය පවත්වන්නේ කොයි ආකාරයටද?

"හුදෙකලා නොකළ ප්‍රදේශවල වරකට 50කට නොවැඩි පිරිසක් සහභාගි කරගනිමින් නිරෝධායන නීතිවලට අනුව දේව මෙහෙය පැවැත්වීමට මීසම් භාර පියතුමන්ලාට අවසර ලබාදී තිබෙනවා. නත්තල් දා රාත්‍රී දේව මෙහෙය දෙසැම්බර් 24 සවස 6.00 සිට පැයෙන් පැයට සුළු පිරිසකට පවත්වමින් දේව මෙහෙය පවත්වන ලෙස බස්නාහිර පළාතේ කතෝලික පියතුමන්ලාට මම උපදෙස් ලබාදී තිබෙනවා. මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් සහ මගේ සහයක රදගුරුතුමලා සජීවීව විවිධ රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කරනවා. නත්තල් දින උදෑසන දිව්‍ය පූජාවත් සජීවීව විකාශය කරනවා."

මෙවර කෝවිඩ් නිසා අසරණ වූ ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් තිබෙනවාද?

"අප මුලින් සඳහන් කළ ආකාරයට සියලුම උත්සව සඳහා වැය කරන මුදල් යොදවන්නේ එම අසරණ ජනතාවට උපකාර කිරීමට. ඒ වගේම සෙත්සරණ ආයතනය හරහා ඒ පවුල්වල අවශ්‍යතා සඳහා උපකාර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ සඳහා ඕනෑම කෙනෙකුට දායක වෙන්න පුළුවන්. ඒ වගේම තමුන්ගේ පවුලේ දරුවන් සහ වැඩිහිටියන් සමඟ සාමූහිකව සමරන්න කියන ඉල්ලීම කරනවා. පාස්කු ප්‍රහාරය නිසා අපට පසුගිය වසරේ නත්තල සමරන්න බැරිවුණා.

මේ පවත්වන පරීක්ෂණ සාධාරණ අයුරින් පවත්වා මෙවැනි වැරැදි රටේ සිදු නොවන්නට කටයුතු කරාවි කියන අපේක්ෂාව අප තුළ තිබෙනවා."

ජනතාව කියන්නේ මෙවර තමයි සැබෑ නත්තල උදාවෙලා තිබෙන්නේ කියලා. ඔබවහන්සේ එය දකින්නේ කොයි ආකාරයටද?

"සෑම අවුරුද්දකම අපි නත්තල වෙළෙඳ මංගල්‍යයක් බවට පත් කරගෙන තියෙන්නේ. අපේ රට තුළත් ලෝකයේ වෙනත් රටවලත් දෙසැම්බර් මාසය උදාවීමත් සමඟම සැරසිලි, වෙළෙඳ භාණ්ඩ ප්‍රදර්ශන කරන්න, නත්තල් සැරසිලි මාර්ග අසල හදන්න, නත්තල් ගස් හදනවා.... මෙවැනි දෑ කරන්නේ වැඩියෙන් තමුන්ගේ භාණ්ඩ විකුණා ගැනීමේ අපේක්ෂාවෙන්. සමහර අයට නත්තල් මාසයට බෝනස්, මුදල් හදල් වැඩිපුර ලැබෙන නිසා එයින් වෙළෙඳ ව්‍යාපාරිකයන් යමක් උපයා ගන්න උත්සාහ කරනවා. අප එයට විරුද්ධ නැහැ. ඒක නොවෙයි නත්තල. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයට පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් පළවෙන්නේ විවිධ භාණ්ඩ විකුණා ගන්න. ඒ වගේම වට්ටම් ලබා දෙනවා. නත්තල කතෝලික නොවන අය පවා උත්සව සිරියෙන් සමරනවා. ඒ නිසා නත්තල විනෝදවීමේ මංගල්‍යයක් වෙලා තියෙනවා. නමුත් නත්තල කියන්නේ ජේසු ස්වාමීන්වහන්සේගේ උප්පත්තිය සිහි කරන ක්‍රිස්තු භක්තිකයන්ගේ අධ්‍යාත්මික උත්සවයක්. ඔබ සඳහන් කළ ආකාරයට මේ අවුරුද්ද ඒ සඳහා හොඳම අවස්ථාවක්. දිළිඳුන් සමඟ නත්තල සැමරීමට අපට මේ වසරේ හොඳ අවස්ථාවක් ලැබෙනවා.

අපේ රටේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ එදිනෙදා හම්බකරගෙන. ඔවුන්ට අත දිගහැරලා වියදම් කරන්න මුදල් නැහැ. ඒ අය සුළු රැකියාවක් කරන්නේ. ඒ නිසා ඔවුන් ණයතුරුස්වලින් පිරිලා. තමුන්ට විතරක් නොවෙයි තමුන්ගේ දරුවන්ට කෑම වේලක් දෙන්න වියදම් කරන්න මුදල් නැහැ. මේ කෝවිඩ් ප්‍රශ්නය නිසා එය දිළිඳු ජනතාවට තදින්ම දැනෙනවා.

ඒ නිසා මේ නත්තල අපට ඉතාම ලස්සන අත්දැකීමක් කරගන්න පුළුවන්. අහල පහළ එවැනි දුගී පවුලක් ඉන්නවා නම් ඒ පවුලට බඩුමල්ලක් දෙන්න. එදා වේල පිරිමසා ගන්න බඩු ටිකක් අරගෙන දෙන්න. නැත්නම් ගෙදරට අඬගහලා කෑම වේලක් දීලා තෑගි දෙන්න... සහෝදරත්වයේ දැත් දිගු කරලා පිළිගැනීම කර පවුල් අතර තබෙන අමනාපකම් දුරු කර ගන්න. එයට මෙය හොඳ අවස්ථාවක්. එයින් අප ලබන තෘප්තිය බාහිර ආටෝපවලින් ලබන තෘප්තියට වඩා ලොකු ගැඹුරක් තිබෙනවා.

සෑම ආගමකම කියා දෙන්නේ අනෙක් මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමටයි. අප තේරුම් ගත යුතු එක දෙයක් තිබෙනවා. මනුස්සයෙක් වශයෙන් අපේ ජීවිතයේ 80%ක් හැදිලා තියෙන්නේ අනෙක් අයගේ උදව්වෙන්. අපි කිසිම කෙනෙක් මේ ලෝකයට සර්වසම්පූර්ණව ආවේ නැහැ. අපේ ජීවිතය හැඩගසා ගන්න විශාල පිරිසක් දායක වෙනවා. අපේ මව්පියන්, ඥාතීන්, අසල්වාසීන් අපේ ජීවිතයේ අපට අත දුන්න බොහෝ දෙනෙක් සිටිනවා. මේ සියලු දෙනා සමඟ සංකලනය වීමෙන් තමයි අපේ පෞරුෂත්වය ගොඩනැගිලා තියෙන්නේ.

අප තමතමුන්ගේ ජීවිත දෙස විග්‍රහ කරලා බැලුවොත් අප සියලුදෙනා හැදිලා තිබෙන්නේ අනෙක් මිනිස්සු නිසයි. සරලතම උදාහරණයකට තමුන්ගේ බත්පත ගත්තොත් එහි තිබෙන බත් ටික කවුරුහරි ගොවිමහතෙකුගේ දහඩිය මහන්සියෙන් ලැබිලා තියෙන්නේ. අපේ ජීවිතයේ දහස් ගණනකගේ ආධාරය ලැබිලා තියෙනවා. ජීවිතයක වටිනාකම ගැඹුර වැඩිවෙන්නේ අනෙක් අය සමඟ සතුටින් සාමදානයෙන් ජීවත්වීමෙන් විතරයි. නත්තලේ සැබෑ අරුත එයයි."

 

විශේෂ ස්තූතිය - සෙත්මිණ ආයතනයේ අධ්‍යක්ෂ

ඩේමියන් ප්‍රනාන්දු පියතුමාට සහ ශ්‍රියාන් ප්‍රනාන්දු පියතුමාට