බිරියකට තමන්ගේ නිර්මාණ දිවියට සැමියාගෙන් ලැබෙන සහයෝගය කියන්න බැරි තරම් වටිනවා

ප්‍රවීණ ගේය පද රචක කිවිඳීය යමුනා මාලනී පෙරේරා
දෙසැම්බර් 30, 2020

ජීවිතය කඳුළක දියවී වැටෙන්න ආසන්නම මොහොතක ඔබේ කඳුළ පිස දමා ජීවිතය නම් මෙයයි සිය නිර්මාණ තුළින් ඔබට කියූ කිවිඳීය, ග්‍රන්ථ කතුවරිය, ගීත රචිකාවිය යමුනා මාලනී පෙරේරා ස්වකීය ජීවන ගීතයේ රිද්මය තරුණී සමඟින් බෙදාගත් මොහොතයි මේ.

 

*කුඩා යමුනාගෙ ගෙදර පරිසරය ලියන්න කියන්න ආස හිතෙන විදිහට සකස් වෙලා තිබුණද?

අපි පදිංචි වෙලා හිටියෙ ගාල්ලෙ බ්‍රවුන්ස් පාරේ. දැන්නම් ඒ පාරට කියන්නෙ අනගාරික ධර්මපාල මාවත කියල. මම දරුවො පස් දෙනකුගෙ පවුලෙ දෙවැනියා. අපේ තාත්තා දකුණු පළාතේ ප්‍රධාන රක්ෂණ සංවිධායක වෙලා හිටියා. ඔහු සමාජවාදී අදහස් තියෙන සමාජශීලී පුද්ගලයෙක්. මම ඉගෙන ගත්තෙ ගාල්ල සංඝමිත්තා බාලිකාවෙන්. තාත්තගෙ වාහනයෙන් තමයි මම පාසලට ආවෙ ගියේ. මේ යන අතරතුර තාත්තයි මමයි ගොඩක් කතාබහ කරනවා. තාත්තා නිතර කියන දෙයක් තමයි අපි මිනිස්සුන්ට උදව් කළ යුතුයි, ඇති නැති පරතරය නැති කරන්න ඕනෑ කියන කාරණය. තාත්තා ළඟ තිබුණ හොඳ ගුණ ධර්ම මගේ හිතට කා වැදුණා. පස්සෙ කාලයේ ඒ දේවල් මගේ නිර්මාණ දිවියටත් එකතු වුණා.

 

*යමුනාගෙ නිර්මාණයක් හා හා පුරා කියල ප්‍රසිද්ධ මාධ්‍යයකින් ප්‍රචාරය වුණේ කොයි කාලෙ ද?

අපේ අත්තම්මාත් නිතර ලොකු බණ පොත් කියෙව්වා. තාත්තත් ගෙදර විවේකීව ඉන්න වෙලාවට පොතක් කියවනවා. ඒ නිසා පොත පත කියවීමට මට ගෙදර පරිසරයෙන් ලොකු පෙළඹවීමක් ඇතිවුණා.

තාත්තා කාර්යාලයට යත්දි මාව ගාල්ලෙ පුස්ථකාලයට ඇරලල යනවා.මේ නිසා මම පොත් කියෙව්වේ ලොකු ආසාවකින්. මට ළමා වියේදීම කියවීමට අමතරව ලියන්නත් වුවමනාවක් ඇතිවුණා. පොඩිකාලෙ මට ලියන්න ඕන කියල කිව්වම තාත්ත කිව්වෙ පුතේ මුලින්ම හොඳට ඉගෙන ගන්න ඊට පස්සෙ ලියමු කියලයි. ඒත් මම තාත්තට ඇවිටිලි කරල එක පාරක් හඳමාමා වැඩසටහනට ලියන්න අවසර ඉල්ල ගත්තා. එතකොට මම පහේ පන්තියෙ.

මුලින්ම හඳමාමා වැඩසටහනට ලියපු කවි දෙක ඊළඟ සතියෙම සුමනා ජයතිලක නැන්දගෙ මිහිරි හඬින් ප්‍රචාරය වුණා. අන්තිම පදය ගොවියා නැතොත් අපි ඔක්කොම බඩගින්නේ කියලයි මම ලිව්වේ. කවියේ මේ අන්තිම පදය ලොකු වර්ණනාවකට ලක් වුණා. ඒකෙන් මම ලොකුවට දිරිමත් වුණා.

ඉගෙන ගෙන් පස්සෙ ලියන්න කියල තාත්තගෙන් ලැබුණ අවවාදය නිසා ආයේ ගුවන්විදුලියට ලියන්න ගියේ නැහැ. මම පොතක් හංගගෙන ලියන්න පටන් ගත්තා. මේ පොතට මම නම දැම්මේ ‘අදහස් පොත කියලා. පරිසරය ගැන ඇතිවුණ විචිත්‍ර අදහස් මම ඔය පොතේ ලිව්වා. ළමා වියේ මම බොහෝ වෙලාවට කළේ තරප්පුවේ වාඩිවෙලා පරිසරය දිහා බලාගෙන ඉන්න එක. වැස්ස වැටුණට මල්වල පාට හේදෙන්නෙ නැහැ, සුළඟ ඇවිත් මල්වල සුවඳ අරන් ගියාට මල්වල සුවඳ මැකෙන්නෙ නැහැනෙ ඔය වගේ දේවල් ගැන කල්පනා කර කර ඉන්න එක මගේ ජිවිත අංගයක් බවට පත්වුණා.

අපේ ගෙදර වැඩිහිටියො ඒ ගැන කරදරත් වුණා. මේ ළමය කටත් ඇරගෙන කොයි වෙලාවෙත් කල්පනා කරනවා කියලා. අම්මා කටු කුටු ගගා තාත්තට කිව්වට තාත්තා ගත්තෙ මගේ පැත්ත. ඒ වෙලාවට එයා ඉතින් මොනවා හරි කල්පනා කරනව ඇති කියලා තාත්ත අම්මට කියන්නෙ ඒ ගැන එච්චර හිතන්න එපා කියනව වගෙයි.

 

*ගාල්ලේ බ්‍රවුන්ස් පාරේ යමුනා මාලනී පෙරේරා යන නම ගුවන්විදුලියේ නිතර කියවෙන්න පටන් ගත්තෙ ?

පොඩි කාලෙදිමයි. මට ඩොක්ට සරච්චන්ද්‍රයන් ගැන අහන්න ලැබුණාම මමත් හිතුවා මම ලොකු වුණහම ඩොක්ට කෙනෙක් වෙනව කියල. මම මේක ගෙදර අයත් එක්ක කිව්වා. මම අදහස් කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වගේ කෙනෙක් වෙනවා කියන එකයි. ඒත් මගේ තාත්තා හිතුවෙ මම වෛද්‍යවරියක් වෙන්න ආසයි කිව්වා කියලයි. තාත්තා ඒ ගැන තාත්ත ගොඩක් සතුටු වුණා. මට භාෂාව සාහිත්‍යය හදාරන්න ඕන වුණත් අන්තිමට ජීව විද්‍යා අංශයෙන් තමයි උස්ස පෙළ කළේ. උසස් පෙළින් පස්සෙ මම යළිත් ගුවන්විදුලියට ලිව්වා. ගුවන් විදුලිය තමයි මගේ නිර්මාණ දිවියෙ මහගෙදර. මම යවන නිර්මාණ හැම එකක්ම ගුවන්විදුලියෙ ප්‍රචාරය වුණා.

ඒ කාලයෙ ගුවන්විදුලියෙ මගේ නම ප්‍රචාරය වුණේ ගාල්ලේ බ්‍රවුන්ස් පාරේ යමුනා මාලනී ද සිල්වා කියලයි.

රසිකයන් වගේම ප්‍රවීණයනුත් මාව දිරිමත් කරමින් ලිපි එව්වා. ඔය අතරෙ තමයි ධර්මසිරි ගමගේ මහත්මය ‘යොවුන් ජනතා‘ පුවත්පත පටන් ගත්තෙ.

මම යොවුන් ජනතා, තරුණී, නවලිය වැනි පත්තරවලට ලිව්වා. ගමගේ මහ්තමය යොවුන් පහන්වැට පිහිටවද්දි ඒකටත් මම සම්බන්ධ වුණා. අද මුල් පෙළේ ඉන්න පුවත්පත් කලාවේදීන් ගීත රචකයන් බොහොමයක් එදා පහන් වැටේ හිටිය අය.

 

 

 

*පහන් වැටේ හිටිය සගයන් වගේ පත්තරේක රස්සාවක එන්න හිතක් පහළ වුණෙ නැති ද?

පොඩි කාලෙ ඉඳන්ම පත්තරේක රස්සාවකට බැඳෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා.

අපේ ආච්චි මට විහිළු කරනව ඔයා බෝතල් පත්තරකාරියක් ද වෙන්නෙ ඔන්න ඔහෙ ඔයා හොඳට ඉගෙන ගෙන ගුරුවරියක් වෙන්න කියල. තාත්තා කිව්වෙ පත්තර රස්සාව නම් ටිකක් කරදර වෙයි. ඔයා හොඳට ඉගෙන ගන්නකො කියලයි.

මම ම තීරණය කළා මට මේ ආත්මයේ පත්තරකාරියක් වෙන්න ලැබෙන්නෙ නැහැ කියල. පස්සෙ මම ගණකාධිකරණ පාඨමාලාවක් හදාරන්න කොළඹ ආවා. ඒ ආව දවස්වලම මට ඩී. එස්. අයි. ආයතනයේ ගිණුම් ලිපිකාරිනියක ලෙස රැකියාවක් ලැබුණා.

පස්සෙ කාලෙ මට ඩී. එස්. අයි. ආයතනයේ ප්‍රචාරක නිළධාරිනිය විදිහට උස්සවීමක් ලැබෙනවා. අද වෙත්දි රැකියාවෙන් විශ්‍රාම අරන් හිටියත් ආයතනය මගින් ප්‍රකාශ කරන තෛයිමාසික සඟරාවේ සංස්කාරකවරිය ලෙස වැඩ කරනවා. කාලයාගේ ඇවෑමෙන් පත්තරයක වැඩ කරන්න තිබුණ ආසාව ළඟටත් ආව කියල හිතෙනවා.

*යමුනා මාලනී කිවිඳීය හා සේනක පෙරේරා නම් ප්‍රකට නාට්‍ය කරුවා අතර පෙම් දම ඇතිවෙන්නේ කොහොම ද?

කොළඹ ඇවිත් මම නතරවෙලා හිටිය බම්බලපිටියෙ බෝඩිමේ යෙහෙළියො නිතර නාට්‍ය බලන්න යනවා. මමත් දවසක එයාල එක්ක පරාස්ස නාට්‍යය බලන්න ගියා. එදා මම සේනකගෙ රඟපෑම අගය කරමින් තමයි නාට්‍ය බැලුවේ. නාට්‍යය ඉවර වෙලා මගේ යෙහෙළියො නළු නිළියන්ට කතා

කරන්න වේදිකාව පිටුපසට ගියාට මම කොරිඩෝවෙ නතර වෙලා හිටියා. ටික වෙලාවකින් සේනක නාට්‍යයේ ඇඳුම් පිටින්ම මගේ යෙහෙළියො එක්ක මම ඉන්න තැනට ආවා. යෙහෙළියෝ මම ගැන විස්තර සේනකට කියලා. ‘‘කවි ලියනව කියල ආරංචියි. ඔයාගෙ කවි මම කියවල තියෙනවා‘‘ කියලා සේනක කිව්වා. ඔය විදිහට තමයි අපි හඳුනා ගත්තෙ. හිතවත් කමත් එක්ක අපි දෙවැනි තුන්වන වරටත් නාට්‍ය බලන්න ගියා. ඔය අතර සේනකගෙන් ආදර යොජනාවත් ආවා.මම කිව්වා කෙන්දර බලන්න ඕනෑ කියල. ‘‘කේන්දරය අනුව කැපෙන කුමරෙකු අත පතන්නියා‘‘ කියල විහිළුවකුත් කරලා එයා අපේ ගෙදරට ඇවිත්මව්පියන්ගෙ කැමැත්ත ගත්තා. අපේ කේන්දරත් ගැළපුණා.ඹ

අපේ ආදර සම්බන්ධය තිබුණු කාලෙම සේනකට නාට්‍ය හා රංග කලාව හදාරන්න රුසියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. සේනකට ඕන වුණා රුසියාවට යන්න පෙර විවාහවෙන්න. පස්සේ විශේෂ බලපත්‍රයකින් අපේ විවාහය ලියාපදිංචි කරලා එයා රුසියාවට ගියා. අවුරුදු දෙකකට

පස්සෙ ඇවිත් තමයි අපේ විවාහ මංගල්‍ය ගත්තෙ. අපි විවාහ වෙලා හෙය්යන්තුඩුව පැත්තෙ කුළියට ගෙයක් අරන් පදිංචි වුණා. පස්සෙ කඩවතින් ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා. අපි දැන් ඉන්නෙ කඩවත ඒ ගෙදර. අපිට දරුවො දෙන්නයි. දෙන්නම දූවරු. ප්‍රතිභා ප්‍රභා සහ ප්‍රමුදි ශෝභා. දැන් එයාල විවාහ වෙලා. ලොකු දුවට දරුවො දෙන්නෙක් ඉන්නවා. පොඩි දුවට එක දරුවෙක් ඉන්නවා.

 

*අපි දැන් මෑත කාලයේ අපේ ගීත සාහිත්‍ය ප්‍රකම්පනය කළ ගිත රචිකාවට කතා කරන්න ඉඩ දෙමු නේද ?

සේනක රුසියාවෙ ඉන්න කාලෙ දැන් වගේ දුරකතන බහුල නැහැනෙ. පෙම්හසුන්වලින් තමයි තොරතුරු හුවමාරු කරගත්තේ. ඒ ලිපියක ලිව්ව කවියක් තමයි අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්. මහවැලියෙදි සේනකට සුනිල් අයිය මුණගැහිලා යමුනා කවි ලියනව නේද ගීත ලියපුව නැතිද කියල අහපු අවස්ථාවක තමයි සේනක සුනිල් අය්යට අහස පොළොව වටපිටාව කවිය ගිහින් දුන්නෙ. සුනිල් අය්යත් මේ පද ටිකට බොහොම කැමැති වෙලා තියෙනවා. අහස පොළොව වටපිටාම ගීතය මුලින් ම ජනප්‍රිය වුණේ රජරට සේවයේයි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්මය රජරට සේවයේ මේ ගීය ප්‍රචාරය කරලා තිබුණා. පස්සෙ රුහුණු සේවයේත් ජනප්‍රිය වුණා. ඊට පස්සෙ තමයි කොළඹ සේවයේ ඇහෙන්න ගත්තෙ. ඒක මට සතුටක් වුණාට කවි ලියන එක තමයි මගේ ප්‍රධානම කාරණය වුණේ.

නමුත් යළිත් මට ගීත රචනා වලට ඇරයුම් ආවා. දෙවනුව මම ලිව්වෙ ‘සඳ කිණිති නැමී‘ ගීතය ලක්ෂ්මන් විජේසේකර මහත්මයට. මා නෙතු මගහැර කියන තුන්වැනි ගීතය මාලනී බුල්තසිංහල මහත්මියට ලිව්වා. රෝස තොල් සිඹිමි ගීතය දිවුල්ගනේට ලිව්වට ප්සසෙ ගීත රචනාවෙන් මිදෙන්න බැරි තරමට ගීත ඉල්ලන්න ගත්තා. මම ගීත රචිකාවක් විදිහට ජනප්‍රිය තලයට ආවේ ඒ ගීතයෙන් පස්සෙ කියල මම හිතනවා. මේ පසුබිම මත මට කවි ලිවීමට තිබුණ කාලය ගීතය විසින් පැහැර ගත්තා වගේ දෙයක් වුණා.

 

*ඔබ පසුපසින් රැඳුණු සෙවනැල්ල සරි වූ සේනකගෙන් කලා කටයුතු වලට ලැබුණ සහය කොතරම් ද?

කලා කාරයෙක් හැටියට එයා තේරුම් අරන් හිටිය නිර්මාණයක තියෙන වැදගත්කම. බිරියකට තමන්ගේ නිර්මාණ දිවියට සැමියාගෙන් ලැබෙන සහයෝගයේ කියන්න බැරි තරම් වටිනවා සේනක මට අම්මයි තාත්තායි වුණා. මගේ අත් පිටපතක් අරගෙන යන එකේ පටන් ගෙදරට බඩු ටික ගේන එක දක්වාම කළේ සේනක. එයා හරිම ළෙංගතු ස්වාමියෙක්. අදටත් ඔහු ගැන මතකය ළඟ මම අතිශයින්ම සංවේදී වෙන්නෙ ඒ නිසයි.

2003 සේනක නැතිවෙත්දි ලොකු දුව උසස් පෙළ පන්තියෙ. පොඩි දුව අට වසරෙ. සේනකගේ නැතිවීම මට දැනුණේ මට මාවම නැතිවුණා වගෙයි. නමුත් මොකක්දෝ ශක්තියකින් මම යළි නැගිට්ටා. ලේඛිකාවක් විමේ හොඳකම මට තේරුණේ එතකොටයි. එහෙම කියන්නේ මම හුදකලාව දරාගත්තෙ ලිවිම තුළින්. ඕනම කෙනෙක් මේ වගේ අවස්ථාවකට පත් වුණාම හිතින් කඩා වැටෙනවා. මට ඒ කඩාවැටීම දැනෙන හැම මොහොතකම මම ලිව්වා. මේ එක්කම මගේ කාල්පනික ලෝකය ගොඩක් පුළුල් වුණා. මම වේගයෙන් ලියන්නකියක් බවට පත්වුණා. නිර්මාණයෙන් කාගේ හෝ හිතක් සුවපත් කරනව කියන එක ලොකු දෙයක්. කෙනකුට මානසික සංහිඳීයාවක් වෙන්න පුළුවන් ක්ෂේත්‍රයක නියැලෙන්න හැකිවීම ගැන අද වෛද්‍යවරයෙක් වුණා වගේ සතුටක් දැනෙනවා.

 

*බිරියක් මවක් හා රැකියාවක් කරන කාන්තාවක් වූ ඔබ නිර්මාණයකට කාලය පරෙස්සම් කරගත්ත අයුරු ගැනත් පවසන්න

මම කළේ පුළුවන් තරම් උදෙන් නැගිටින එක. ඒක මගේ ජීවිතයේ චර්යාවක් බවට පත්වුණා. පාන්දර හතරෙ ඉඳන් හය වෙනකම් මට බ්‍රහ්ම හෝරාව කියල මම හිතාගෙන ඉන්නෙ. ඒ කාලය තමයි මම නිර්මාණ කටයුතු කරන්නෙ. අදටත් මම නිර්මාණ කටයුත්තක් ඇතත් නැතත් උදේ

හතරට අවදි වෙනවා. පොතත් ලියන එක අලුතෙන් හිතන දෙයක් කරන්නෙ ඒ වෙලාවට.

 

ඡායා රූප-  දයාන් විතාරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.