මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ප්‍රතිඵල ලැබූ නිවුන් සොයුරෝ

ජනවාරි 20, 2021

මව්පියන්ගේ ලෝකය හැඩවෙන්නේ දරුවන්ගෙනි. ඔවුන්ගේ සිහිනය වන්නේ දරුවන්ගේ අනාගතය සරු කරවන්නටය. සෑම මවක්ම පියකුම අනේකවිධ දුක් ගැහැට මැද අපේක්ෂා දල්වාගෙන බලා සිටින්නේ දරුවන් ලබන ජයග්‍රහණ දෙසය.

එහෙත් එවැනි ජයග්‍රහණ සෑම දරුවකුටම ලබන්නට වාසනාව නොලැබෙයි. එසේම සෑම දරුවකුටම එක ලෙස දක්ෂතාවන් ද නොතිබෙයි. එලෙසින් දක්ෂකම් දක්වන දරුවන් ලබන්නට සැබැවින්ම ඔවුන් පිංවන්තයන් විය යුතුමය.

මෙවර 5 වසර ශිෂ්‍යත්වයේදි ලකුණු දෙසීයම ලබමින් වාර්තාවක් තබන්නට හැකි වූ දරුවන් 10 දෙනකු ගැන අප සටහන් තැබුවේ උතුරා ගලන සතුටිනි. එම ජයග්‍රහණයේ උපරිම සතුට දෝර ගලා ගියේ ඔවුන්ගේ මවුපියන්ටය. එම සතුට ඔවුන් ලැබුවේ තම දරුවාගේ දක්ෂකම් නිසාය. විශේෂයෙන්ම මේ විභාගයට දරුවන්ටත් වඩා දැඩි උනන්දුවක් දක්වන්නේ දරුවන්ගේ මවුපියන්ය. එහෙත් අපට මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී වැඩියෙන්ම සතුටු වූ අභිමානවත් මවුපිය යුවළක් ගැන සටහන් තැබීමට තරමක් ප්‍රමාද විය. එම මවුපියන්ගේ සතුට මේ ජයග්‍රහණයේ සතුට ලකුණු 200 ලැබූ දරුවන්ගේ මවුපියන්ට වඩා වැඩි සතුටක් යැයි පැවසුවොත් ඔබ පුදුමයට පත් වේවි.

එය සැබැවින්ම සතුට උතුරා ගලන සිද්ධියකි. එසේම පෙර ආත්මයකින් ලද වාසනාවකි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී උපරිම ලකුණු සංඛ්‍යාව වූ 200 ට වඩා ලකුණු 3ක් අඩු වූ දරුවකු හා ලකුණු 5ක් අඩු දරුවකුගේ ජයග්‍රහණයේ සතුට විඳින්නනට එක් මවකට හා පියකුට හැකිවීම ද ඉතිහාසගත සිද්ධියකි. නිවුන් සොහොයුරන් දෙදෙනකු ලෙසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අනුපම තරිඳු ප්‍රනාන්දු සහ අනුපම රවිඳු ප්‍රනාන්දු පුතුන් දෙදෙනා එකම දිනයේදී උපත ලබන්නේ විනාඩි දෙකක පරතරයකිනි. එකම පාසලේ එක ලෙස දක්ෂයන් වූ තරිඳු සහ රවිඳු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ අලුත්ම වාර්තාවක් තබන්නට අපේක්ෂාවෙන් නම් නොවේ. කුඩා කල පටන්ම එක ලෙස දක්ෂයන් වූ මේ නිවුන් සොහොයුරන් දෙදෙනා තම මවුපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 197 සහ ලකුණු 195 ලබා ගන්නේ ඉතිහාසයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු ශිෂ්‍යත්ව විභාගයේදී ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමිනි. මේ සතුට මාස කිහිපයක් ගතවුවත් තවමත් ඉතිරිව ඇති නිසාම අප ඔවුන් දෙදෙනා සොයා ගියේ ඒ ජයග්‍රහණය ගැන වඩාත් හොඳින් දැන ගැනීමේ අපේක්ෂාවෙනි.

මෙහිදී තරිඳු සහ රවිඳු පුතාගේ ආදරණීය මවුපියන් වූ ජාතික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍ය ප්‍රදීප් චන්දන ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආදරණීය බිරිය ප්‍රීතිකා පෙරේරා මහත්මිය අපව පිළිගත්තේ හද පිරි සතුටිනි. උඳුවප් මිහිර ගෙවී යමින් නව වසරක උදාවත් සමඟ අපගේ සුහද පිළිසඳරට මුලින්ම මුල පිරුවේ තරිඳු පුතා සහ රවිඳු පුතාය.

“අපි දෙන්නා මොන්ටිසෝරියේ ඉඳන්ම හිටියේ එකම පංතියේ. ශිෂ්‍යත්ව විභාගය කියලා අපි වැඩිපුර මහන්සි වුණේ නැහැ. හෝඩියේ පංතියේ ඉඳලම අපි ක්‍රීඩා කළා. චෙස්, කැරම්, දිවීමේ තරග, පිහිනීම මේ හැම දෙයක්ම කරන්න අම්මයි තාත්තයි තමයි අපව උනන්දු කළේ. හැබැයි ශිෂ්‍යත්වය නිසා ස්විමිං, චෙස් පංතිවලට නම් යන්න බැරි වුණා. ඒත් දැන් ආයෙමත් යනවා. අපි දෙන්නම වැඩියෙන් කැමැති චෙස් ක්‍රීඩාවට තමයි. ඒ නිසා හුඟක් වෙලාවට අපි චෙස් ප්ලේ කරනවා.

අපි ශිෂ්‍යත්ව විභාගෙට කියලා හුඟක් පාඩම් කළේ නම් නෑ. ඒත් තාත්තාත් එක්ක අන්තිම මාස දෙකතුනේදි විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. ඊට අමතරව පෙළපොතේ තියෙන දේවල් ගැනත් කතා කළා. සමහර වෙලාවට අපි දෙන්නා මාරුවෙන් මාරුවට ප්‍රශ්න අහනවා. තරගයක් වගේ තමයි ඒක කරන්නේ. හුඟක් වෙලාවට දිනන්නේ අයියා. ඒ කියන්නේ රවිඳු. නමුත් විභාගයේදී වැඩියෙන් ලකුණු ගත්තේ මම (තරිඳු - මල්ලි) යැයි ඔවුන් සිනාසෙමින් පැවසුවේ සැබැම සිදුවීම් පෙළකි.

අපේ තාත්තා ෆොටෝ ග්‍රැෆිවලට හරිම ආසයි. ඒ නිසා එයා නිවාඩු දවස්වලදී ට්‍රිප් යනවා. ඇත පැතිවල ඇවිදින්න යනවා. විභාගෙට මාස දෙකකට ඉස්සර තමයි අපි කුමන අභයභූමියේ සත්තු බලන්න ගියේ. තාත්තා අපි දෙන්නටත් කැමරා දෙකක් අරන්දීලා තියෙනවා. අපිත් හරි ආසයි සත්තුන්ගේ පිංතූර ගන්න. අපි දවස් තුනක් කුමන ගිහින් හිටියා. ඒ වගේ ට්‍රිප් අපි සෑහෙන්න ගියා. අපි මැලේසියාවේ ට්‍රිප් එකක් ගියා. එහෙදී අපි දෙන්නයි... නංගීයි තුන්දෙනා තට්ටු හතේ සාප්පුවක ෂොපිං කරද්දී අම්මාගෙනුයි තාත්තාගෙනුයි මඟහැරිලා.... අපි අඬ අඬා සෑහෙන්න වෙලා හිටියා. පස්සේ පොලිස් මාමලත් එක්ක ඇවිත් තාත්තා අපව හොයාගත්තා. එදා නම් අපි සෑහෙන්න බයවුණා.”

මේ සුරතල් සංවාදය අතර අප සමඟ ඇඟ කිළිපොලා යන සිද්ධියක් පැවසීමට ඔවුන්ගේ පියාවන වෛද්‍ය ප්‍රදීප් ප්‍රනාන්දු මහතා ද එක්වූයේ ඔහුට අමතක නොවන සිදුවීමක් සිහිවීමෙනි.

“ඇත්තටම ගිය අවුරුද්දේ තරිඳු පුදුම වැඩක් කළානේ... මෙයාලට අපි ඉස්කෝලේ වැඩවලට ඔළිඳ ඇට ගෙනත් දීලා තිබුණා. අපි දෙන්නා නැති අතරේ තරිඳු ඇට හතරක් පහක් කාලා.

ඔළිඳ කියන්නේ මාරාන්තික විස සහිත බීජ වර්ගයක්.

දවස් 10 ක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හිටියා. එයාට තුන්වැනි වාරයේදී විභාගෙට ඉන්නත් බැරිවුණා.” මේ කතාවට බාධා කරමින් තරිඳු මහත් ආඩම්බරයෙන් පැවසුව් ඔහු පසුගිය වාර දෙකේදීම පංතියේ පළමුවැනියා වූ බවයි.

නැවතත් අප වෛද්‍ය ප්‍රදීප්ගේ කතාවට යොමුවූයේ ඔවුන්ගේ බාල කාලය ගැන අසන්නටය.

“මේ දෙන්නා පුංචි කාලෙදි නම් ටීචර්ලාට මාරු වෙනවා. ඒත් පස්සේ දෙන්නාගේ උස ටිකක් වෙනස් නිසා අඳුනා ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඔළිඳ ඇට කාපු සිද්ධිය නිසා අපි සෑහෙන්න බය වුණා.

දෙන්නම කෑවේ මොනවද කියලා කිව්වේ නැහැ.

රෑ තමයි කාපු දේ ගැන අපට කිව්වේ. මේක සමාජයටත් ලොකු පණිවුඩයක් දෙනවා. ඔළිඳ මදය මාරාන්තිකයි. මෙයා හොඳටම ඒවා කාලා හිටියේ. වාසනාවට තමයි බේරුණේ. අපටත් හිතා ගන්නත් බැරි වුණා.”

පවුලක් ලෙසින් මහත් සතුටින් ජීවත්වන වෛද්‍ය ප්‍රදීප් මහහතාගේ ලොකුම විනෝදාංශය වී ඇත්තේ වනයේ ඡායාරුපගත කිරීමය. ඔවුන්ට ලැබෙන සැම නිවාඩුවකදීම විනෝද චාරිකාවක් යෑම පුරුද්දක් කරගෙන තිබීම මේ දරුවන් දෙදෙනාට ජීවන අත්දැකීම් රැසක් එක්කර ගැනීමට අවස්ථාවක් වී තිබුණි.

ඒ නිසාම මේ දරුවන් පහසුවෙන් විභාගයට පෙනී සිටි බව ද අපට සඳහන් කළේ මව ප්‍රීතිකා පෙරේරා මහත්මියයි.

වරලත් වාස්තු විද්‍යාඥවරියක වූ ඇය මේ දරුවන්ගේ ජයග්‍රහණය කරා රැගෙන ගිය ගමනේ රහස හෙළි කළේ අනාගතයේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ටත් මවුපියන්ටත් ආදර්ශයක් ලෙසිනි.

“මේ දෙන්නාගේ හැකියාවට හරියටම අත්තිවාරම වැටුණේ මොන්ටිසෝරියේදී. ඒ ටීචර් කවදාවත් දරුවන්ට අකුරු ලියන්න කියලා දුන්නේ නැහැ.

නිදහසේ චිත්‍ර අඳින්න අවස්ථාව ලබා දුන්නා. කවදාවත් ගෙදර වැඩ දුන්නේ නැහැ. මම ඒ ටීචර්ගෙන් අකුරු උගන්වන්නේ නැත්තේ ඇයි කියලා ඇහැව්වම කිව්වේ ‘අම්මා ඒ දරුවෝ නිකම්ම අකුරු ලියයි.

අපි මහන්සි වෙන්න ඕනේ නෑ’ කියලා. අන්තිම මාස තුනේදී දරුවෝ අකුරු නිකම්ම ලිව්වා.

අපිටත් හරිම පුදුම හිතුණා. මේ දෙන්නා පරිසරය සමඟ ගැටෙන්න ජීවත්වීම නිසා තමයි මේ ලකුණු ප්‍රමාණය දෙන්නට ගන්න පුළුවන් වුණේ.

ඒ දෙන්නාගේ ළමා කාලය ළමයින් ලෙසින් ගෙවන්න අවස්ථාව ලැබුණු නිසයි මේ ලකුණු ප්‍රමාණය හිමි වුණේ කියලා තමයි මට හිතන්නේ. මේ දෙන්නට මොන්ටිසෝරියේදී ලැබුණු අධ්‍යාපනය නිසා තමයි වේගයෙන් වැඩ කරන්න පුළුවන් වුණත් ශිෂ්‍යත්ව විභාගයේදී මේ තරම් ලකුණු ගන්න හැකි වුණේ පෙර පාසලේදී ලැබුණු පන්නරය නිසයි. ශිෂ්‍යත්වය වගේ තරග විභාගයකදී වැඩි ලකුණු ගන්න වේගවත්බව හරිම වැදගත්. එය හොඳින්ම පුහුණු වුණේ මොන්ටිසෝරියේ ටීචර් නිසයි.

ඒ වගේම සෑම ගුරුවරයෙක්ම මේ දෙන්නට පුදුම ආදරයක් තිබුණේ. අපේ දරුවෝ ශිෂ්‍යත්වය පාස්වෙයි කියලා විශ්වාසය තිබුණා. නමුත් දෙන්නම මේ තරම් ලකුණු ගත්තාම හිතට පුදුම සතුටකු දැනුණා.

ඒ සතුට නම් කියන්න බැරි තරම්....”

 

ඡායා -  තුෂාර ප්‍රනාන්දු