මං මූලිකත්වය දෙන්නේ නිරූපණයට

ප්‍රශානි පෙරේරා
සැප්තැම්බර් 22, 2021

 

මෙවර තරුණී කවරය හැඩ වන්නේ මියුසික් විඩියෝ, වෙළෙඳ දැන්වීම සහ ෆොටෝ ෂූට් වලින් නිතර දැකිය හැකි යුවතියක්. ඇය ප්‍රශානි පෙරේරා.  සමාජ මාධ්‍ය ජාලා මාධ්‍යවල වඩා ජනප්‍රිය ඇය සඟරා සහ පුවත්පත්වල මුල් කවර සරසන්නියක් ද වනවා. තරුණී සමඟ ඇයව කතා බහකට එක් කර ගත්තේ මෙලෙසයි.

ඉතිං කොහොමද ප්‍රශානි?

හොඳින් ඉන්නවා. කෝවිඩ් වසංගතය නිසා හැමෝම පීඩාවට පත්ව ඉන්න වෙලාවක නීරෝගීව හොඳින් ඉන්නවා කියන එකත් ලොකු දෙයක්නේ.

වැඩවලින් නම් අඩුවක් නැහැ වගේ..සමාජ ජාලාවල ඔබේ ඡායාරූප නිතරම දකින්න ලැබෙනවා..?

කෝවිඩ් තත්ත්වය දැන් තරමක් පහව ගිහින් නිසා නැවත සුපුරුදු විදිහට නිරූපණ කටයුතුවලට ආරාදනා ලැබෙනවා. ඒ ෆොටෝ ෂූට්ස් ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙනවා. ඒ හරහා ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනවා වගේම හැමෝම මාව අඳුර ගන්නවා.

නිරූපණය ඔබේ වෘත්තීයද?

මං ඉතාම ආසාවෙන් තමයි නිරූපණයට සම්බන්ධ වුණේ. මං ආස කරන දේ තමයි මගේ වෘත්තීය වුණේ. වෘත්තීයක් තෝරා ගනිද්දී තමන් ආස කරන දෙයක් තෝර ගත්තම ඕනෑ තරම් ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්න පුළුවන්. ඒ කැප කිරීම් තමයි ආනගතය සාර්තක වෙන්න අඩිතාලම වෙන්නේ. දැන් මං නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 6ක් වෙනවා. එදා මේ ගමන පටන් ගත් විදිහ බැලුවම මං අද හොඳ තැනක ඉන්නවා.

කොහොමද නිරූපණයට එන්න මඟ පෑදෙන්නේ?

ඒක වුණේ වෙළෙඳ දැන්වීමක් හරහා. මට වෙළෙඳ දැන්වීමක පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. එයින් පසුව ෆොටෝ ෂූට්ස්වලට පෙනී ඉන්න අවස්ථා ගලාගෙන ආවා. ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ බ්‍රයිඩ්ල් ෆොටෝ ෂූට්ස්වලට.

ඒ කියන්නේ ඔබට රංගන හැකියාවකුත් තිබෙනවා...

මං වෙළෙඳ දැන්වීම් කිහිපයකටත්, මියුසික් වීඩීයෝ කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. මංචි කොමේ, පෑන් ඒෂියා, කොමර්ෂල්, සිග්නල් වැනි වෙළෙඳ දැන්වීම් 20කට වැඩි ප්‍රමාණයකට මා දායක වෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යක පාසල් යන යුවතියකගේ චරිතයකට රංගනයෙන් දායක වුණා. එය නුදුරේදීම විකාශය වීමට නියමිතයි.

රංගන කටයුතු නිසා නිරූපණය මඟහැරෙයි ද?

මං මූලිකත්වය දෙන්නේ නිරූපණයට. අද මං මේ තැන ඉන්නේ නිරූපණය නිසා. ඒ අතර තුර රංගනයටත් සම්බන්ධ වෙනවා. පාසල් යන කාලයේ ඉදන්ම මං කලාවට හරි කැමැතියි. මං පාසල් ගියේ කිරිබත්ගොඩ ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයට. පාසලේ ගුරු මහත්ම මහත්මීන් මං ආදරයෙන් මතක් කරනවා.

පවුලේ විස්තර ගැනත් කතා කරමු...

මගේ ගම බියගම. පවුලේ ඉන්නේ අම්මමයි, තාත්තයි, මල්ලි. මුලදි නම් තාත්තා කැමැති වුණේම නැහැ මං මේ කටයුතුවලට සම්බන්ධ වෙනවට. අම්මා තමයි හැම දේටම පස්සෙන් හිටියේ. මං මේ වැඩකටයුතු හොඳින් කරගෙන යද්දි තාත්තත් පස්සේ කැමති වුණා.

ඉදිරි වැඩකටයුතු කොහොමද?

ඉදිරියේදී මගේම clothing brand එකක් පටන් ගන්න ඉන්නේ aura by prashani perera නමින්. ඒකට අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම නිරූපණ කටයුතුත්, රංගන කටයුතු හොඳින් කරගෙන සතුටින් ඔන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
 

ඡායාරූප -හිරන්ත ගුණතිලක

ඇඳුම් නිර්මාණය -රුවන් චාමර

හැඩගැන්වීම-රංගන ප්‍රේමරත්න