ගයාත්‍රිගේ කරවිල බැදුමේ රස බලමු

ජූලි 22, 2020

ඇය කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියේ ඉතාම කෙටි කාලයකි. 2006 වසරේ සිරස නාළිකාවේ විකාශය වූ ‘වසූදා’ ටෙලි වෘතාන්තයේ මොරීන් ගේ චරිතයට ජීවය දෙමින් හාපුරා කියා රංගනයට පිවිසි ඇය ගයාත්‍රි රාජපක්ෂයි.

මේ කෙටි කාලය තුළ ටෙලි නාට්‍යය 30 ක පමණ රංගනයෙන් දායක වී ඇති ගයාත්‍රි ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය වූයේ ‘ආදරණීය පූර්ණිමා’ සහ ‘සඳට අහස ආදරෙයි’ ටෙලි කතාවලිනි. රයිගම් ටෙලි නාට්‍යය සම්මාන උලෙළකදී වරක් ඇය නැගී එන හොඳම ටෙලි නාට්‍යය නිළිය ලෙසින් සම්මානයක් තුරුලු කරගන්නට වාසනාවන්ත වූවාය. ඒ ‘මාද ඔබම විය’ ටෙලි නාට්‍යයේ රඟපෑම උදෙසාය.

ගයාත්‍රිගේ දෑතින් පිසෙන රසවත්, ගුණවත් කෑමක් පිළියෙල කර ගන්නා අයුරු තරුණී පාඨක ඔබට තිළිණ කරන්නයි මේ සූදානම.

ගයාත්‍රි මොනවද අද ඔයා අපිට හදලා පෙන්නන්න යන්නේ?

මගේ තාලෙට කරවිල බැදුමක්.

ගයාත්‍රි Style? තිත්ත නැහැ නේද?

කරවිල කොහොමත් තිත්තයි නේ? හැබැයි ආර්යන් හරිම ආසාවෙන් මේක කනවා.

කවුද ආර්යන් කිව්වේ?

මගේ එකම පුතා. එයාට තවම අවුරුදු 4 යි. සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට තිත්ත කෑම කවන්න හරිම අමාරුයි නේ. ඒත් මෙයා නම් කන්නේ ඉල්ල ඉල්ලා.

එහෙනම් ‘තරුණී’ පාඨකයන්ගේ දරුවන්ටත් ඉල්ල ඉල්ලා කන්න, හදමු බලන්න ඔයාගේ කරවිල බැදුම.

මේකට තෝරා ගන්නේ ලපටි කරවිල ගෙඩි. ඒකට හේතුව ඇට අයින් නොකර තමයි මේක අපි බදින්නේ.

මෝරපු ගෙඩිවල ඇට තරමක් තිත්තයිනේ. කරවිල ගෙඩිය හැඩයට හිටින විදියට අඟල් කාලක් විතර ඝනකමට පෙති කපා ගන්නවා. මේ පෙති ටික ලුණු මිශ්‍ර මඳක් උණුසුම් වතුර භාජනයකට දානවා.

මේ අතරතුරේ පාන්පිටි අඬු කෝප්පයකට ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්, කහකුඩු තේ හැඳි කාලක්, රස පදමට ලුණු එකතු කරලා ඇල්වතුර දාලා තලපයක් (බැටර් එකක්) හදා ගන්නවා. ගොඩාක් දියාරුවට නෙවෙයි. දැන් අපි අර කපා ගත්ත කරවිල පෙති ටික කැඩෙන්නෙ නැතිවෙන්න හොඳට මිරිකලා දිය බේරා ගන්නවා.

මේ දිය බේරාගත්ත කරවිල පෙති අපි එකින් එක අර හදාගත්ත තලපයේ හොඳට ගිල්වා තවරලා වෙනම පිඟානකට දා ගත්ත බිස්කට් කුඩුවල දවට ගන්නවා. ඊට පස්සෙ තාච්චියක් ළිප තියලා එයට පොල්තෙල් යහමින් දාලා රන්වන් පාට වෙනතුරු මේ කරවිල පෙති ටික ගැඹුරු තෙලේ බැදගන්නවා. වැඩේ ඉවරයි.

හරිම ලේසියි. ඒ වගේම රසවත් ඇති.

කාලා බලන්නකෝ. රස වගේම ගුණදායකයි. කෑම වේලට විතරක් නෙවෙයි. හවස තේ බොන වෙලාවට මේක වඩේ, පැටිස් වගේ අතුරු ආහාරයක් විදියටත් තේ කෝප්පය රසවත් කරගන්න පුළුවන්.

මමයි මගේ සැමියා අනුරාධයි, පුතයි අපි පදිංචිවෙලා ඉන්නේ ඕමාන්වල. නංගිගේ වෙඩින් එකට ජනවාරි මාසේ ලංකාවට ආපු ගමන් අපි ‘කොරෝනා’ වලට හිරවුණා. ඕමාන්වලදිත් අපි තුන්දෙනා සතියකට සැරයක්වත් හවස තේ වෙලාවට මේ කරවිල බැදුමේ රස බලනවා. ඔයාලත් මේක හදලා රස විඳලා ‘තරුණී’ පත්තරේ මේ අංකයට කතා කරලා ඔයාලගේ අදහස් කියන්න. 0112429591.