ජීවිතය දිනන්න නිශ්චිත වයසක් නැහැ

දෙසැම්බර් 3, 2018

ඔබට සිහින දකින්නට අයිතියක් ඇත. එහෙත් හැමදාමත් සිහින දැකීමෙන් පමණක් ජීවිතය සාර්ථක වන්නේ නැත. ඒ සිහින සැබෑකරගන්නට ද ඔබ උනන්දු විය යුතුයි.

ඒ සඳහා කැපවීමෙන් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ යුතුයි. ජීවිතය සාර්ථක වන්නේ එවිටයි.

එමෙන්ම ඔබ තවත් දෙයක් වටහා ගත යුතුය. එනම් අපි කවදා කුමන මොහොතක සාර්ථක වේදැයි කිව නො හැකිය. සමහර විට අපිට ඉක්මනින්ම සාර්ථක වීමට අවස්ථාව උදා වේ. තවත් විටෙක ඒ සඳහා වසර ගණනාවක් වුවද ගත විය හැකියි. අවශ්‍ය වන්නේ අපේ ඉවසීමයි. නොපසුබට උත්සාහයයි. වරක් සාර්ථක වී නැවත අසාර්ථක වන්නට ද පුළුවන. එහෙත් අප නැවත උත්සාහ කළොත් අපිට නැවත ද සාර්ථක විය හැකියි.

ජීවිතය යනු හැමදාමත් එකම රිද්මයකට ගලන්නක් නොවේ. එහි නැඟීම් මෙන්ම බැසීම් ද තිබිය හැකියි. ඒබව වටහාගෙන ජීවත්වන විට කුමන මොහොතක අසාර්ථක වුවද ජීවිතය අත්හරින්නේ නැත. එමෙන්ම නැවත නැඟිටින්නට උත්සාහ කරයි. ජීවිතය පිළිබඳ අසුබවාදී වන්නේ නැත. එහෙත් අප අතර හිඳින බොහෝ අය සාර්ථක වන්නට උත්සාහ කරන්නේ නැත. සමහර අය ඒ සඳහා එක්වරක් දෙවරක් උත්සාහකර නොහැකි වුවහොත් එතැනින් සියල්ල අතහැර දමයි. තවත් අය උත්සාහ කිරීමට බිය වෙති. තවත් පිරිසක් පරාජය දරාගන්නට නො හැකිව ජීවිතය අහිමි කරගනී. එහෙත් ධෛර්යවන්තයා සියල්ල දරාගෙන නැවතත් නැඟී සිටී.

‘අමිතාබ් භච්චන්’ එහෙමත් නැත්නම් ‘බිග් බී’ ලෙසින් මුළු ලෝකයම ආදරයෙන් අමතන භාරතයේ මහා නළුවා ඔබ ද හොඳින්ම හඳුනන්නෙකි. එහෙත් ඔහුගේ ජීවිතය ගලා ගිය රිද්මය හෝ ඔහුගේ සාර්ථකත්වයේ කතාව නම් ඔබ අසා නැතුව ඇති.

ඔහු, මා ඉහතින් සඳහන් කළ බිඳ වැටීම් දරාගෙන දිරියෙන් නැවත නැවතත් ජීවන සටනට මුහුණ දී ජයගත් මිනිසෙකි. එපමණක් නොව තමා දිනූ ජීවිතයෙන් අන් අයටත් සරණක් වූ දැවැන්තයෙකි.

නළුවෙක් කියූ සැණින් බොහෝ අය සිතන්නේ ඔවුනගේ ජීවිතවල සමනල පියාපතක සැහැලුව මෙන්ම මිල මුදල් ද හිඟයක් නොමැති බවය. එහෙත් එය ඔබ හිතන තරම් සුන්දර නොවේ. සමහර විට ඔබ ගෙවන ජීවිතයට වඩා ඔවුනගේ ජීවිත දුෂ්කර වේ.

මේ ඒ ධෛර්යවන්ත මිනිසාගේ ජීවිතයේ සාර්ථකත්වය ගලාගෙන ගිය කතාවයි.

දිල්ලියෙන් මුම්බායිවලට

1968 දී හීන්දෑරි උස තරුණයෙක් පවුලෙන් වෙන්වෙලා දුම්රියෙන් දිල්ලියේ ඉඳලා මුම්බායිවලට එන්නේ තමන් නිරන්තරවම දැකි සිහිනයක් සැබෑ කරගන්නයි. ඒත් ඒක සැබෑකරගන්න එක හිතන තරම් ලේසි නැහැ කියලත් මේ තරුණයා දැනගෙන හිටියා. ඒ හින්දම මුම්බායිවල බොහොම පුංචි රැකියාවක් සොයාගෙන එදාවේල යන්තම් සරිකරගෙන ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඔහු චිත්‍රාගාර අසල කැරකුණා. ඒ තමන්ගේ හීනය සැබෑගකරගන්න යන්තම් හරි උපකාරයක් වේවි කියලා. ඒක අරගලයක් වුණා. නිදාගන්න තැනැක් නැති මේ තරුණයා ගේ රාත්‍රීන් වැඩිපුරම ගෙවුණෙ මුම්බායි මුහුදු වෙරළෙ. වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් චිත්‍රාගාරවල සේවකයන්ගෙන් බැණුම් අහමින් වුවත් ඔහු ඒ ගමන නතර කළේ නැහැ. නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු පසුපස යමින් තමන්ටත් රගපෑමට අවස්ථාවක් සොයාගන්න වෙහෙසුණා.

ගමන අරඹයි

මේ තරුණයාගේ අසාමාන්‍ය උසයි කටහඬේ ඇති ගොරෝසුබවයි ගැන හිතන අධ්‍යක්ෂවරු මොහුට අවස්ථාවක් දෙන්න පසුබට වුණා. ඒත් අත්නොහැරීමේ පුරුද්දත් පරාජය භාර නොගැනීමේ පුරුද්දත් නිසා ඔහු දිගින් දිගටම වෙහෙස වී අවස්ථා සොයාගෙන ගියා. ඒ වෙහෙසේ ප්‍රතිඵලයක් විදිහට 1969 දී ඉචචබ ඩඪදඤභඵබචදඪ චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාව උදාවෙනවා. මේ විදිහට චිත්‍රපට කිහිපයක රඟපාන ඔහුට එකල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි රාජේෂ් ඛන්නා සමඟ ‘ආනන්ද්’ සිනමා සිත්තමේ රඟපෑමට අවස්ථාව උදා වුණා. එහි රඟපෑමෙන් හොඳම සහය නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගන්නත් ලැබෙනවා. ඉන්පස්සේ ‘සලීම්’, ‘සන්ජීර්’ වගේ චිත්‍රපට හරහා ප්‍රසිද්ධිය ඔහු වෙත එනවා. ‘ෂෝලේ’, ‘කාලියා’, ‘සිල්සිලා’ වගේ චිත්‍රපටවලින් බොහොම ජනප්‍රිය වුණු අමිතාබ් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නඟිනවා. ඒ අතර දර්ශන තලයක දී සිදුවුණු අනතුරක් නිසා ජීවිතයත් මරණයත් අතර සටනකින් අන්තිමේ ඔහු ජීවිතය දිනනවා.

බැසීම සහ නැවත ඇරඹීම

ඒත් ඊටපස්සේ ක්‍රමයෙන් උදාවෙන්නේ ජීවිතයේ කඩා වැටීම්. විවාහ වෙලා දරුවන් ලැබුණත් 90 දශකය වෙනකොට අමිතාබ් තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් බොහොම පහළට වැටෙනවා. ඊට පස්සේ ඔහු සිය බිරියගේ ධනයත් යොදා ඒඕඛ්ඹ් චිත්‍රපට නිෂ්පාදන ආයතනය අරඹන්නේ ජීවිතය නැවතත් දිනන්න හිතාගෙනයි. ඒත් ඒකෙන් වෙන්නේ අතේ සතේ නැතිකරමින් බුන්වත් පුද්ගලයෙක් බවට පත්වෙන්නයි. බැංකුවලට ණය වෙන්නයි. ඒත් අමිතාබ් නෙමෙයි ජීවිතය අතහැරියේ. තමන්ට මිල මුදල් හිඟ වුවද දරුවන් සමඟ ජීවත් වෙන්න අතේ මුදල් නැති වුවද ඔහු කළේ නැවත නැවතත් තමන්ගේ හැකියාවන් උරගා බැලීමයි. වැටෙන හැම මොහොතකම යළි යළි නැඟිටින්න ඔහු ගත්තේ අප්‍රමාණ වෙහෙසක්. ඒ අතර 2000 අවුරුද්දේ දී මොහොබ්බතීන් චිත්‍රපටයේ කළ රංගනය සමඟින් ඔහු නැවතත් සිනමා කර්මාන්තයෙන් ජීවිතය උරගා බලනවා. එමෙන්ම Kaun Banega Crorepati (Who Will Become a Millionaire)  නම් අමිතාබ් මෙහය වූ කාටද කෝටිපතියකු වන්න වුවමනා කියන රූපවාහිනී වැඩසටහන ආරම්භ වුණා. මේ වැඩසටහන බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකට අනුව සැකසූවක්. ඔහු එහි නිවේදකයා. මේ වැඩසටහන අමිතාබ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

තරුණබවට වඩා මහලු පෙනුමට ඉල්ලුමක්

එතැනින් පසුව සිදුවන්නේ තරුණ අමිතාබ්ට තිබුණට වඩා ඉල්ලුමක් වයසක අමිතාබ්ට හිමි වීමයි. තරුණ වියේදී නොදුටු කඩවසම් බවක් මෙන්ම ප්‍රතිරූපයක් ද වයසක අමිතාබ්ට හිමි වෙනවා. රූපවාහිනී වැඩසටහන් වගේම චිත්‍රපට ද ඔහු වෙත පෝළිමේ ලැබෙනවා. එදා ඕල් ඉන්ඩියා ගුවන් විදුලියේ හඬ පරීක්ෂණයකින් අසමත්වන අමිතාබ් මෙදා නිවේදන වෘත්තියේ ද පරිණත පුද්ගලයෙක් බවට පත්වෙනවා. දැන් ඔහු කෝටිපතියෙක්. අමෙරිකන් ඩොලර් මිලියන 400 ක දළ වත්කමක් තියෙන පුද්ගලයෙක්. සිනමා කර්මාන්තය වෙනුවෙන් පිදෙන විවිධ සම්මාන රැසක්ම ඔහු ට හිමිවුණේ සිය මහලු වයසේ කළ රංගනයන් සඳහායි. ඒ විතරක් නෙමේ ඔහු වෙත මේවන විට සම්මාන 220කට වැඩි ප්‍රමාණයක් විවිධ දේ සඳහා හිමි වී තියෙනවා. ඒවා ලැබුණෙත් මේ මහලු වයසේ දී ය. බ්‍රිතාන්‍යයේ මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ තමන් වෙනුවෙන් ඉටි රූපයක් පළමුවරට හිමිවූ ඉන්දියානුවත් ඔහුයි.

අද වන විට ඔහුගේ ඉටි රූප නිව්යොර්ක්, හොංකොං නගරවල මෙන්ම දිල්ලියෙත් තියෙනවා. හඬ පරීක්ෂණයෙන් අසමත් වු අමිතාබ් අද සිංදුත් කියනවා. සම්මාන ලද ‘පා’ චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් ද අමිතාබ් සිය දක්ෂතාව පෙන්වූවා.

එදා කෝච්චියට නැඟලා තනියම දිල්ලියෙන් ආව තරුණ කොල්ලා අද තමන්ගේ හැම හීනයක්ම සැබෑකරගෙන. පසුගිය ඔක්තෝබර් 11 වැනිදා සිය ජීවිතයේ 76 වැනි සැතපුම් කණුව පසුකළ මේ දැවැන්ත පුද්ගලයා ආයෙත් හැරිලා තමන්ට වැරැදුණු තැන් බැලුවේ නැහැ. ඉදිරියටම යනවා. ඒ යන්නෙත් නිකනම් නොවෙයි. අනෙක් පුද්ගලයන්ටත් ජීවත් වෙන්න හව්හරණයක් වෙමින්.

ගොවීන්ගේ ණය ගෙවයි

අද ඔහු දුගී මිනිසුන්ට සෙත සලසන දානපතියෙක්. ලංකාවේ වගේම වගා ණය ගෙවා ගන්න බැරුව ඉන්දියාවේත් දහස් ගණන් මිනිසුන් සිය දිවි හානි කරගන්නවා. තමන් උපන් ගමේ එවැනි ගොවීන් 350 දෙනකු ලබාගෙන තිබූ බැංකු ණය ගෙවා ඔවුන් නිදහස් පුද්ගලයන් බවට පත් කළා.

නැවතත් ගිය මාසයේ දී තමන්ගේ උපන් ගමේ ගොවීන් 1398 දෙනකු බෑන්ක් ඔෆ් ඉන්ඩියා බැංකුවෙන් ලබාගෙන තිබුණු බැංකු ණය ගෙවා දැමුවා.

ඒ ගොවීන්ගෙන් කිහිප දෙනකු මුම්බායි වෙත ගෙන්වා සිය දියණියගේ අතින් ලියකියවිලි බෙදා දුන් අමිතාබ් තම ට්විටර් පිටුවේ සඳහන් කළේ ‘ලක්ෂ්මිට නිවෙසට එන්න දුන්නා. දුව ඒවා ඔවුන්ට දුන්නා. ලක්ෂ්මි කියන්නේ ධනයේ දේවතාවියයි. මගේ දියණිය ස්වේතා මගේ නිවෙසේ ලක්ෂ්මියයි.’

එසේ නම් වැටි වැටී ජීවිතය දිනන්න අවස්ථාව ඔබටත් තියෙනවා. අද තරුණ අවධියේ නොහැකි වුවත් මැදි වයසේ දී නැත්නම් මහලු වියට එළැඹි විට වුවත් එය සිදු විය හැකියි. ඒ සඳහා නිශ්චිත දවසක් වෙලාවක් නො තිබෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ කැපවීම, ධෛර්යවන්ත වීම හා අත් නො හැරීම පමණයි. එය යථාර්ථයක් කළ අමිතාබ් ගේ කතාව මෙය කියවන ඔබටත් වලංගුයි.