අම්මා තරම් කෙනෙක් වෙන කොයි

ජනවාරි 9, 2019

ජාන්වී කපූර්, ඉන්දියානු සිනමාවේ අමරණීය තරුවක් වූ ශ්‍රීදේවිගේ ආදරණීය දෙටු දියණියයි. සොඳුරු රුවකට උරුමකම් කියන ජාන්වී වෙතින් දිස්වන්නේ අහිංසක පෙනුමකි. ‘ධදක්’ ඈ රංගනයෙන් දායක වූ පළමු සිනමා සිත්තමයි.

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ මේ සිනමා සිත්තමේ ඇගේ රංගනය පිළිබඳ කවුරුත් කතා කළේ සතුටින්. ඒ ඇගේ රංගනයට ඇති බුහුටිබව නිසාමයි. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ. මේ දියණියත් ඇගේ අම්මා වගේ සිනමාවේ බොහෝ දුරක් යනු ඇතැයි කවුරුත් අපේක්ෂා කරනවා. “ධදක්” සිනමා සිත්තම දුටු මහා භාරතයේ අද්විතීය ගායිකා ලතා මංගේෂ්කාර් පවසා තිබුණේ ඇය දැන් බලා හිඳින්නේ ජාන්වීට පසුබිම් ගායනයෙන් දායක වීමට බවයි. ඒ තරමටම ඈ ජාන්වීගේ රංගනය ගැන සතුටු වෙලා. ඒ වගේම ඇගේ අම්මාගේ මතකයත් මේ මහා ගායිකාව ආදරයෙන් සිහිපත් කරන්නේ අම්මට වගේම දියණිටත් පසුබිම් ගායනයෙන් දායක වීමේ ඇගේ නොනිත් ආසාව නිසයි.

ඒ වගේම ජාන්වීට හින්දි සිනමාවේ වගේම දකුණු ඉන්දියානු සිනමාවේ කවුරුත් ආදරෙයි. අම්මා වගේම ජාන්වීත් දවසක දකුණු ඉන්දීය සිනමාවටත් පිය තබාවි. ඉන්දියාවේ තියෙන හැම භාෂාවකින්ම නිපදවෙන සිනමා සිත්තම් සඳහා ඇගේ මවගේ දායකත්වය හිමි වූවා. ඒ නිසා ජාන්වීටත් ඉන්දියානු සිනමාවේ කොතැනින් වුවත් ආරාධනා ලැබේවි.

ලස්සන ඇඳුම් පැලඳුම්වලින් හැඩවෙන්න කැමැති ජාන්වී මෝස්තර මවන්නියක් කියලත් ප්‍රකටයි. ඇගේ විලාසිතා බොහෝ වෙලාවට නිර්මාණය වෙන්නේ ඇගේ අම්මාගේ ඇඳුම් මෝස්තර නිර්මාණය කළ මනීෂ් මල්හෝත්‍රා අතින්මයි.

ඒ වගේම පසුගිය දවසක වෝග් සඟරාවේ කවරය සඳහා පෙනී සිටින්නත් ඇයට අවස්ථාව හිමි වුණා. දැන් දැන් ඇයට විවිධ උත්සවවලට වගේම රූපවාහිනී වැඩසටහන් සඳහාත් ආරාධනා ලැබෙනවා. පසුගිය දවසක ඇගේ අයියා වූ අර්ජුන් කපූර් සමඟ කරන් ජෝහර් ගේ වැඩසටහනකටත් සහභාගී වුණා. ඒ වගේම ඉදිරියේ දී තිරගත වීමට තියෙන තවමත් රංගන කටයුතු කෙරෙන “ඊචඬඩබ” සිනමා සිත්තමෙත් ජාන්වීගේ රංගනය දැකගත හැකි වේවි. මෙහි රන්වීර් සිං, කරීනා කපූර්, ආලියා භාත්, විකී කෞෂාල් වගේම ජාන්වීගේ බාප්පා වූ අනිල් කපූර් ද රංගනයෙන් දායක වෙනවා.

මව අහිමි වීමත් සමඟ ජාන්වීට වගකීම් වැඩි වුණේ නැඟණිය නිසායි. ඇයට ආදරණීය අක්කා කෙනෙක් වීමට ඇය හැමවිටමත් උත්සාහ ගන්නවා. බොලිවුඩය බබළවන තරු දරුවන් හැටියට ප්‍රකට ජාන්වී වගේම ඇගේ නැගණිය කුෂිත් ළඟදීම සිනමාවට පිය නඟාවි කියලා තමයි කවුරුත් කියන්නේ. නංගීගේ සිනමා ආගමනය ශාරුක්ගේ පුත් ආර්යයන් සමඟ වේවි කියලත් කියනවා. ඒ කරන් ජෝහර්ගේ චිත්‍රපටයකින්ලු. මේ දෙන්නා එකටම අමෙරිකාවේ දී රංගනය හදාරලාත් තියෙනවා.

සමහරු නම් කියන්නේ ශ්‍රීදේවි ගේ දරුවන් ලස්සන වුවත් ශ්‍රී තරම්ම ඔවුන් ලස්සන නොමැති බවයි. ඒකට හේතුව ශ්‍රීදේවි තරුණ අවදියේ වෙන කිසිවකුට සම නොවන වෙනස්ම මුහුණක් වූ නිසායි. ඒ තරමටම ශ්‍රී සතුව ඇයටම අනන්‍ය වූ රූපයක් තිබුණා. කොහොම වුණත් ලේ උරුමය නිසාදෝ මේ දියණිය සතුවත් රඟපෑමේ දක්ෂකමක් මෙන්ම බුහුටිබවකුත් ප්‍රකට වෙනවා. ඒ වගේම ඇය රඟපෑම ගැන හැදෑරීම් ද කර තිබෙනවා. ඇගේ රංගනය අම්මාගේ රංගනයට සමාන වේ දැයි සමහරු විමසනවා. මේ හැම දෙයටම පිළිතුරු දුන් ජාන්වී පවසා තිබුණේ ඇය සිය මව රඟපෑ චිත්‍රපට අතරින් නරඹා ඇත්තේ චිත්‍රපට පහක් පමණක් බවයි. කොහොම වුණත් ඇගේ අරමුණ ඇගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමයි.

ඒ අතර ඇය තම මව පිළිබඳ මතකයත් දිග හරිනවා. “මට හැම වෙලාවෙම ඕනෙ වුණේ අම්මයි නංගියි එක්ක ගෙදරට වෙලා සතුටින් ඉන්නයි. එහෙම නැත්නම් සංචාරය කරන්නයි. අම්මා එක්ක ඉන්නවා වගේ සතුටක් වෙන දෙයකින් ලැබෙන්නේ නැහැ. ඇයත් සමඟ ගතවුණ හැම මොහොතක්ම පී‍්‍රතිමත්. මම ‘ධදක්’ රංගනයට ගියාට පස්සේ අම්මාගෙන් ඈත් වීම ගොඩක්ම දැනුණා. ඒ හින්දා මට ඕනේ වුණේ එහි කටයුතු ඉක්මනින් අවසන්කර අම්මා ළඟට යන්නයි. ඒත් එය හීනයක්ම වුණා. ඇය මගේ රංගනය ගැන තරමක් බියකින් හිටියේ. මට ඕනේ වුණා ඇගේ දුව මොනවගේ ද කියලා ඇයට පෙන්වන්න. ඒත් මගේ පළමු සිනමා සිත්තමවත් බලන්නේ නැතුව ඇය ගියා. ඒක හීනයක් වගේ. ඇත්තටම ඒක හීනයක් වෙනවා නම් මොනතරම් හොඳද? එහෙනම් මමයි නංගියි, අම්මා එනකම් හැමදාම වුණත් බලාගෙන ඉන්නවා. තාත්තා වගේම අයියා අර්ජුනත් අක්කා අන්ෂුලාත් අපේ තනියට ඉන්නවා තමයි. හැමෝගෙම ආදරයත් හිමිවෙනවා. ඒත් අම්මා තරම් කෙනෙක් වෙන කෝ. ඇය නැති අඩුව වෙන කාටවත්ම පුරවන්න බැහැ. එතැන හැමදාමත් අම්මා සමඟ ගෙවූ ආදරණීය මතකවලින් පිරිලා තියේවි. ඒ වගේම ඒ අඩුව මම ජීවත්ව ඉන්න තුරාම දැනේවි. දැන් නංගී ගැනත් මම ඉස්සරට වඩා බලන්න ඕනෙනේ. අම්මා ඉන්න කාලේ නම් අපි දෙන්නා පුංචි දේටත් රණ්ඩු වුණා. ඒත් දැන් නංගී මොනවා කිව්වත් මම ඉවසනවා.”

ශ්‍රීගේ ලොකු දුව ගැන ඉදිරියේ දී මීටත් වඩා බොහෝ දේ ගැන අපිට කතාකරන්න ලැබේවි. ඇයත් අම්මා වගේ ඉන්දියානු සිනමාව ලෙලදවන හැටි අපිත් බලාගෙන ඉමු. ඇගේ රංගනය නුදුරේදී ඔබටත් දැකගත හැකි වේවි.