ගෙදරම පිරිලා තියෙන්නේ තාත්තාගේ සංගීතයෙන්

ජනවාරි 9, 2019

රන්වල බලකායේ නියමුවා සහන් රන්වල

සංගීතයේ රිද්මයෙන් පිරීගිය නවාතැනක මැවෙන පරිසරය බෙහෙවින්ම පිවිතුරුය. එවැනි පරිසරයක් තම නිවහන තුළ නිර්මාණය කර ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

දේශීය සංගීතයේ රිද්මය වැයෙන, ගැයෙන තාලයට, බෙරපද තාල නාද මැවෙන සොඳුරු පියසක් ගැන අපට සටහන් තැබීමට මුලටම කියැවෙන නම් ඇත්තේ අතලොස්සකි.

ඒ අතුරින් ලයනල් රංවල නාමය අපේ හදවත් තුළ පමණක් නොව ලේ මස් නහරවල පවා සටහන්ව තිබෙයි. ඔහු මැවූ එම දේශීය සංගීතයේ සෘංගාරය අපට පමණක් නොව මතු පරපුරටද ගීත තක්සලාවකි. ජන සංගීතය හා නර්තනය තුළින් නව නිර්මාණාත්මක පර්යේෂණයන් බිහි කිරීමට තරම් ප්‍රබල වූ එම කුසලතාවය තම දෙටු පුත්‍රයා කරමත තබා ගත්තේ මහත් කැමැත්තෙනි. ඒ අති දුෂ්කර වූ ව්‍යායාමයේ උඩගම්බලා පිහිනා යන ඔහු සැබෑම හැකියාවෙන් හා ප්‍රතිභාපූර්ණත්වයෙන් පිරි කලාකරුවෙකි. සැම විටම තම මුවහැනිඋල් මත ලයනල් රංවල නම තැබූ සහන් රංවලගේ නිවෙසට අප පියනැගුවේ දේශීය සංගීතයේ රිද්මය රැඳි ඒ නිවෙසේ මිහිර සොයාගෙනයි.

තලවතුගොඩ මහින්දාරාම පාරේ වූ එම නිවෙසට පිවිසෙන විටම සහන් සහ ඔහුගේ දයාබර බිරිය මෙලනි අප පිළිගත්තේ අපේකම හිත්පුරාම පුරවාගෙනමයි.

ආ... එන්න... නව වසරේ ආයුබෝවේවා. ඉතිං.. ඉතිං... කොහොමද සහන් තොරතුරු? ඔයාලගේ කටහඬ වැඩිපුරම ඇහෙන්නේ අවුරුදු කාලේ වුණත් අපි හිතුවා නව වසරේදීත් අපේකමට මුල්තැන දෙන්න... ඒ නිසයි ඔයාලගේ ගෙදරටම ආවේ...

ඒක කොයි තරම් වටිනවද? ඇත්තටම ඕනෑම දෙයක් බිහි වෙන්නේ අම්මගෙන්නේ.... අපේ දේශීය සංගීතය, නැටුම වුණත් උපදින කොටම අපි හැමෝගෙම ඇඟේ තියෙනවා. ඒත් දැන්නම් ටිකක් අභියෝගයට ලක්වෙලා. දැන් කාලේ අම්මලාට සංගීතය උගන්වන්න තියා දවසේ උයන පිහන වැඩ ටිකවත් කරගන්න වෙලා මදිනේ."

අපේ ළෙන්ගතු කතාව ඇරැඹුණේ එලෙසිනි.

ඔය කියන කතාව සහන්ටත් බලපානව නේද?

"අපේ ගෙදර පරිසරය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපි පුංචි කාලේ පටන්ම මේ ගෙදර පිරිලා තිබුණේ සංගීතයෙන්. මේ ගෙදර හැම බිත්තියකම පවා තැවරිලා තිබෙන්නේ අපේකම රැඳුණු සංගීතයෙන්. ඒ තරමටම අපේ තාත්තා දේශීය සංගීතයට ඇලුම් කළා. ඒ නිසාම අපි උපදිනකොට දේශීය සංගීතය කියන දේ ලැබුණා. හැබැයි වැදගත්ම දේ තමයි කිසිම දවසක බටහිර සංගීතය රසවිඳින්න තහනමක් තිබුණේ නැහැ. ඒ සඳහා නිදහස අපට දීලා තිබුණා. නමුත් මේ සංගීතය රැකගන්න ආරක්ෂා කරන්න ඕනේ කියන වගකීම තාත්තාගේ හිතේ තදින්ම පැළපදියම් වෙලා තිබුණු දෙයක්.

මේ අතරේ තමයි 2002 වසරේදී තාත්තා හදිසියේම මිය ගියේ. ඔහු මිය යනවිට පෙන්නුම් කරපු දේ තමයි දේශීය සංගීතය කියන්නේ විශාල වපසරියක් තිබෙන ගැඹුරු විෂයක් බව. ඔහු පෙන්නුම් කරපු දෙයත් සමඟ මම හිතට ගත්තා මේ ගෙදරත් ඒ සංගීතයෙන් පිරෙන්න ඕනේ කියලා. ඉන්පසුව තමයි තාත්ත ගොඩනගපු ඒ ශක්තිමත් අත්තිවාරම උඩ මගේ නිර්මාණ බිහි කළේ.

ඉතිං සහන් කොහොමද ඔබේ පවුලේ තොරතුරු?

මේ කතාවට ඔහුගේ දයාබර බිරිය මෙලනිත් එකතු වුණා.

අපි විවාහ වුණෙත් 2004 අවුරුද්දේ. ඇත්තටම මෙලනි බය වුණා මේ ගෙදර කටයුතු ටික කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපේ ගෙදර කිසිම දවසක තනියෙන් පවුලේ අයට කන්න ලැබෙන්නේ නැහැ. කවුරු හෝ අමුත්තෙක් ඉන්නවා. ඒ කියන්නේ අපේ සංගීත කටයුතු සඳහා පැමිණෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හරි සංගීත හා සම්බන්ධ කවුරු හෝ කෙනෙක් ඉන්නවාමයි. ඒ වගේ කාර්යබහුල වැඩ වැඩි නිවෙසක කටයුතු කරන්නේ කොහොමද කියලා එයා හිතාගන්න බැරිවයි හිටියේ. නමුත් ටිකෙන් ටික මේ පරිසරයට එයත් හුරුවුණා. දැන් අපේ පුතා හය වසරේ. අපේ දරුවට කැමැති විදිහට නිදහසේ ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙන්නේ. අපේ අම්මත් ඉන්නේ අපි ළඟ. ඇත්තටම ඒකත් අපට විශාල ආශිර්වාදයක්. අපේ අයියා චිරන්ත රන්වල මේ ගෙවල් ළඟම තමයි ඉන්නේ.

මේ වගේ නාගරික පරිසරයක ඔයාගේ නිර්මාණ බිහි කරන්න... පර්යේෂණ කරන්න පුළුවන්ද?

අපි කරන නිර්මාණය තුළ තිබෙන්නේ ගමේකමට වඩා අපේකම. ඒ කියන්නේ අපි සැමවිටම නිර්මාණය කරන්නේ දේශීය සංගීතය. නාගරික පරිසරයක ජීවත් වුණත් ගැමි සුවඳ හොඳට හඳුනනවා. අපේ අම්මා ඈත පිටිසර කොත්මලේ මඩකුඹුර. ගමට ඉරු පායන්නේ උදේ හතට. ගම විශාල කන්දකින් වැහිලා තියෙන්නේ. ඒ නිසා ගමේ ඉපදුනේ නැතිවුණාට අපේ සංගීතයට වස්තුබීජ මූලාශ්‍ර පිළිබඳ ගැටලුවක් නැහැ.

කාලය කෙමෙන් ගෙවී යමින් තිබුණි. අපේ රසවත් කතාබහ අතර සහන්ගෙන් ඔහුගේ ඉදිරි සැලසුම් ගැනත් අහන්න හිතුවා.

"මේ අවුරුද්ද පුරාම ජාතික මට්ටමේ වඩසටහන් රැසක්ම දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. 'ගයමු' කියන රන්වල පදනමේ මාසික ප්‍රසංගය මාස්පතාම ඉතාම නිර්මාණශිලී ලෙසින් ඉදිරිපත් කිරීමේ කටයුතු කරගෙන යනවා. ඒවගේම ඒඊ නාලිකාවේ ආයුබෝ වේවා! කියන රංවල බලකායේ ජන සංගීත නිර්මාණ රාශියක් ප්‍රචාරය වෙනවා. ඒ වගේම රංගිරි ශ්‍රී ලංකා නාලිකාවේ සෑම පැයකටම වරක් අපේ සංගීත නිර්මාණ වාදනය වෙනවා. ඊට අමතරව අපට ඩුබායි, දොහා කටාර්, තායිලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.

මේ හැම දෙයකටම මට විශාල පහසුවක් වෙලා තියෙන්නේ මගේ බිරිය. මෙලනි රැකියාවෙන් පවා ඉවත්වෙලා මගේ වැඩවලට උදව් වෙනවා. මගේ රාජකාරී කරන කාර්යාල කාමරය තියෙන්නේ මේ ගෙදරම නිසා හැම අවස්ථාවකම හරිම අවිවේකි නිවෙසක්. ගෙදර කටයුතු ගැන සොයා බලන්න ඇත්තටම වෙලාවක් නැහැ. මෙලනි, පෞද්ගලික ජීවිතේ කටයුතු ගැන, නෑදෑයන්ගේ, අම්මාගේ, දරුවන්ගේ සියල්ලම මට හැමදාම මතක් කරන නිසා අපේ ජීවිතේ ඉතාම සැහැල්ලුවෙන් ගෙවෙනවා.

මම පුංචි කාලේ පටන්ම හරිම කාර්යබහුලයි. වැඩ කරන්න... තමයි මට ඕනේ. ඒ පුරුද්ද දැන් අපේ පවුලේ අයටත් තියෙනවා. මගේ ගෝලයන්ටත් තියෙනවා. ඕනෑම දෙයක් සාර්ථක වෙන්න නම් දිගු කාලයක් එම කටයුත්ත හරියට කරන්න ඕනේ. ඇත්තටම අපේ දේශීය සංගීතය ගැන මැසිවිලි කිය කියා හිටියා නම් මටත් වෙන්නේ නිකම්ම කම්මැලියෙක් වෙන්න. අපි හැම දවසකම අලුත් වුණොත් අලුත් දෙයක් කළොත් ඒ සඳහා ඉල්ලුමක් තියෙනවා. දේශීය සංගීතයේ රංවල බලකාය හදලා උඩුගම් බලා පීනලා ජය ගන්න පුළුවන් වුණේ මේ උත්සාහය තමයි." ඔහු ඒ වචන පෙළ සටහන් තැබුවේ සමාජයට සිතන්නට හා කම්මැලි නොවන්නට ආදර්ශයක් ලෙසිනි.

ඡායාරූප - තිලක් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.