අද හදන්නේ පැණි නැති සීනි හකුරු කලාවක්

පෙබරවාරි 6, 2019

ඒ හකුරු කාටත් හදන්න පුළුවන්

ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි

'ගින්නෙන් උපන් සීතල' මේ දිනවල සීත කාලගුණයටත් වඩා උණුසුම්ව දැනෙයි. ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගතවෙන මෙම සිනමාපටයේ දිග හැරෙන්නේ දකුණේ තරුණ අරගලයෙන් බිහි වූ නායකත්වයයි.

රෝහණ විජේවීර චරිතය ප්‍රතිනිර්මාණය කරමින් දිගහැරෙන මෙම සිනමාපටයේ එම විප්ලවීය නායක චරිතය නිරූපණය කිරීම විශාල අභියෝගයකි. එය සාර්ථක ලෙසින් ජය ගත් කමල් අද්දරආරච්චි නම් ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවා සොයා අප ගියේ ඔහුගේ දක්ෂ රංගන කෞෂල්‍යය තුළින් මෙම අභියෝගය ජයගත් ආකාරය ගැන මොහොතක් පිළිසඳරේ යෙදෙන්නටයි.

බැද්දගානේ රජමල් උයන අද්දර වූ ඔහුගේ සුවිසල් පියස වෙත අප ළඟාවන විට කාලය බොහෝ සෙයින් ප්‍රමාදව තිබුණි. එහෙත් ඔහු අප එනතුරු ඉවසිල්ලෙන් මඟ බලා සිටියේ මඟ තොටදී ඇතිවන මාර්ග බාධක ගැන දන්නා නිසාමය. කාලය කෙතරම් ගෙවී තිබුණත් 'තරුණී'ට ළෙන්ගතු ඔහු අප හා කතාබහ ඇරැඹුවේ හරවත් සංවාදයකට මුල පුරමිනි.

ඉතිං කොහොමද... අලුත් චිත්‍රපටයට තිබෙන ප්‍රතිචාර...?

ඇත්තටම මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. එයට හේතු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම රෝහණ විජේවීර කියන පුද්ගල චරිතය කොයිවගේද කියන එක මිනිස්සු හරියට ග්‍රහණය කරගෙන තිබුණේ නැහැ. මෙම චිත්‍රපටය තුළත් ඔහුගේ චරිතයට සුදුහුණු ගාලා හොඳ පුද්ගලයකු කියලා පෙන්වීමේ අවශ්‍යතාවය තිබුණේ නැහැ. ඇත්තටම මේ කතාව තුළ දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. 1989 දක්වා ඔහු සිරෙන් නිදහස්වෙලා ආවට පස්සේ ඔහුට සැඟවී ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ සැඟවී සිටි කාලය තුළ සිදුවූ සත්‍ය තොරතුරු පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මේ තොරතුරු මිනිස්සු හරියට දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම මේ චිත්‍රපටය මිනිස්සුන්ගේ තිබෙන කුතුහලය හා උනන්දුව වැඩියි. මෙහි තිබෙන සිදුවීම් 90% ක්ම සත්‍ය සංවේදී සිද්ධි නිසා චිත්‍රපටය අවසානයේදී චිත්‍රපටය නරඹන හැම අයෙකුගේම නෙතට කඳුළක් එක්කරනවා නො අනුමානයි.

මේ කතාව අතර ඔහුගේ ආදරණීය බිරිය අනුරානී අප හමුවට පැමිණියේ අපගේ ඡායාරූපය සඳහාම ගැළපෙන ඇඳුමකින් හැඩවීමෙනි.

ඔබ විජේවීර කියන චරිතය හඳුනා ගත්තේ හැබැහින් දැකලද?

රෝහණ විජේවීර අපේ ගෙදර ඇවිත් තියෙනවා අපි බම්බලපිටියේ ඉන්නකොට. ඔහුගේ ඥාති සොයුරියක් අපේ බතික් කර්මාන්තශාලාවේ සේවය කරල තිබුණා. එම බතික් කර්මාන්ත ශාලාවට ඔහු ඇවිත් තියෙනවා. එම ඥාති සොයුරිය දකින්න ආවට කිසිම දවසක මට ඔහු මුණගැහිලා නැහැ.

ඔබට හමුවූ චරිත අතුරින් විජේවීරගේ චරිතය කොයිවගේද?

විජේවීර කියපු ගමන් මට දැනෙන්නේ ඔහු මේ රටේ නිර්ධන පංතිය වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අවංක හැඟීමෙන් වැඩ කළ පුද්ගලයෙක්. ඔහු ලුලුම්බා විශ්ව විද්‍යාලයට යන්නේ වෛද්‍ය විද්‍යාව හදාරා තමුන්ගේ පියාවත් සුව කිරීමේ අධිෂ්ඨානයෙන්. නමුත් ඔහුට අවසානයේදී දේශපාලනය හදාරන්න වෙන්නේ එම විශ්ව විද්‍යාලයේදී සිදුවූ අසාධාරණකම් අරගල නිසයි. ඔහු ලංකාවට ඇවිත් ආපසු යන්න හදනකොට ලංකාවේ වාමාංශික නායකයෝ ඔහුගේ ගමනට බාධා කරනවා. ඒ හේතුවෙන් වීසා නොලැබුණු ඔහු ලංකාවේ දේශපාලන අරගලයට එකතු වුණා. එසේ නොවී ආපසු එම විශ්ව විද්‍යාලයට ගියා නම් ඔහු දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න ඉඩ තිබුණා.

ඔබ එක්තරා කාලයක අපේ සිනමාවේ සිහින කුමාරයා බවට පත්වුණා. ඒ අතීතය ගැන හිතෙන්නේ කොහොම ද?

ඇත්තටම සිංහල සිනමාවේ සිහින කුමාරයා වෙන එක මහ අමාරු වැඩක් නොවෙයි. නළුවෙක් වුණහම රංගනය පිළිබඳ හදාරලා ඒ ගැන අධ්‍යයනය කරලා චරිතාංග නළුවෙක්වීම තමයි වටින්නේ. නැතුව සීනිබෝල නළුවෙක් වෙන එක කාටත් කරන්න පුළුවන් දෙයක්නේ.

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.