මනුසත්කමින් පිරි ඉලයතලපති

පෙබරවාරි 27, 2019

වයසට නොයන පෙනුම ඔහුගේ කඩවසම් බවේ රහසයි. සැබැවින්ම ඔහුගේ පෙනුමේ ඇත්තේ ළාමක බවකි. එහෙත් එය ජවයෙන් හා ජීවයෙන් පිරී ඇත. මම මේ ඔබට කියන්නේ ‘ඉලයතලපති’ ගැනයි.

රැජිනි කාන්ත්ට පසු දකුණු ඉන්දියානුවන් දේවත්වයෙන් සලකන ඔහු විජායි වේ. නැත්නම් ඔබ හොඳින්ම හඳුනන විජේය. ඔහු කවුරුත් ආදරයෙන් අමතන්නේ ‘ඉලයතලපති’ නමිනි. හින්දි සිනමාවටත් වඩා අපේ රටේ බොහොමයක් ආදරය කරන්නේ දමිළ සිනමාවටයි. ඒ නිසාම විවිධ රූපවාහිනී නාළිකාවන් හි ද හින්දි ෆිල්ම් පෙන්නනවාට වඩා පෙන්වන්නේ දකුණු ඉන්දීය සිනමා සිත්තම්ය. රජිනි කාන්ත්, කමල් හසන්, ආදීන්ගෙන් පසුව අපේ රසිකයන්ගේ මතකයේ රැඳෙන්නේ විජේය. තල අජිත්, සූර්යයා ආදීන් ද ඒ අතර වේ.

දකුණු ඉන්දීය සිනමාවත් දමිළ සිනමාවත් දෙකක්ය. එයට හේතුව දකුණු ඉන්දීය සිනමාව තුළ මලයාලම්, කණ්ණඩ, තෙළිඟු ආදී තවත් උප භාෂාවන්ගෙන් නිපදවෙන සිනමා ඛාණ්ඩ ඇති හෙයිනි. මෙයින් විජේ අයත් වන්නේ දමිළ සිනමාවටයි. නමුත් ඔහු රඟපාන සිනමා සිත්තම් උප භාෂාවන්ට හඬකවා ප්‍රදර්ශනය කරයි.

1974 ජුනි 22 වැනිදා තමිල්නාඩුවේ දී උපන් විජේගේ සම්පූර්ණ නම ජෝෂප් විජායි චන්ද්‍රසේකර්ය. පියා චිත්‍රපට අධ්‍යක්ෂ එස්. ඒ. චන්ද්‍රසේකර්ය. මව පසුබිම් ගායිකාවක වන සෝබාය. විජේට එක් සහෝදරියක් සිට ඇති අතර ඇය විද්‍යා නම් විය. නමුත් ඇය වයස අවුරුදු දෙකේ දී මිය යයි. එතෙක් දඟකාර, පෙරළිකාර, කටකාර දරුවකු වූ විජේ සිය සොහොයුරියගේ සමුගැන්මත් සමඟ නිහඬ චරිතයක් බවට පත් වී ඇත. 1984 වසරේදී පියා අධ්‍යක්ෂණය කළ සිනමා සිත්තමකින් ළමා නළුවකු ලෙස කරළියට එන ඔහු සිනමා සිත්තම් හයක ළමා නළුවකු ලෙසින් රඟපෑමට එක් විය. පසුව යෞවනයකු ලෙස නැවතත් 1992 වසරේ දී ප්‍රධාන චරිත රඟපාමින් දමිළ සිනමාවට පිවිසෙන මේ කඩවසම් තරුණයා ඉන්පසු ක්‍රමයෙන් තම ආධිපත්‍ය එහි පතුරවන්නට විය. අවසන සුවහසක් සිනමා ලෝලීන්ගේ හද සොරාගත් විජේ අදටත් යෞවනියන්ගේ සිහින කුමරාය. මතකයේ රැඳෙන සිනමා සිත්තම් රැසක මතක සිටින චරිත රඟපෑ විජේ පොඩි දරුවන් අතර ද අතිශය ජනප්‍රිය චරිතයකි.

 

2019/02/27 තරුණි බලන්න.