සිහින සැබෑ කරගන්න නම් ඒ වෙනුවෙන් සටන කළ යුතුයි

අප්‍රේල් 10, 2019

ලොව සාර්ථකත්වයට පත් අනෙකුත් අසාමාන්‍ය මිනිසුන් මෙන් අහම්බයකින් හෝ වාසනාව නිසා මෙසී ගේ සාර්ථකත්වය ඇති වූයේ නැත. ඔහු සැබෑ ලෙසම වෙහෙසී වැඩ කළේය. අද ඉන්න තැනට පත්වීමට එදා ඔහුගේ හැම දවසක්ම ගතවුණේ පුහුණුව සඳහායි. අසීමිත කැපවීම මතින් දුක හා වෙහෙස නොබලා කැපවීමේ රහස අද මුළු ලොවක් ඉදිරියේ හේ ප්‍රදර්ශනය කරයි. එහෙත් අප අතර හිඳින සමහර මිනිසුන් හා ගැහැනුන් සිතන්නේ සාර්ථකත්වය යනු වාසනාව සහ අහම්බයකින් ලැබෙන දෙයක් බවයි. ඒ නිසාම බොහෝ අය සාර්ථක වීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැත. ඒ වෙනුවෙන් කැපවීමක් කරන්නේ ද නැත. එවැනි අය පූර්වාදර්ශයට ගත යුත්තේ ලයන්ල් මෙසී නම් ජගත් පාපන්දු පිටියේ අංක එකේ පෙරළිකාරයා ය. පසුගිය සති දෙක පුරාම මා ඔබට කීවේ ඔහුගේ ජීවිත කතාවයි. අද සිට අපි ඔහුගේ සාර්ථකත්වයේ පාඩම් කියවමු.

ඔබ විශ්වාස කරන දෙයට සටන් කරන්න

ඔබට සිහිනයක් තියෙනවා නම් එය ඉටුකරගන්නට මහන්සි වී වැඩ කළ යුතුමයි. සාර්ථකත්වය පහසුවෙන් අප වෙත එන්නෙත් නැහැ. එය පහසුවෙන් ළඟා කරගන්නත් බැහැ. සාර්ථකත්වය ලබාගන්න නම් ඔබ ගෙවිය යුතු මිලක් තියෙනවා. ඒ මිල ගෙවන්න ඔබ සතුව කැමැත්තක් තිබිය යුතුමයි. එහෙම කළොත් විතරයි අපිට අපේ සිහිනය සැබෑකරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒත් අපි අතර ඉන්න හුඟදෙනකු මහන්සිවෙලා වැඩ කරලා මේ මිල ගෙවන්න කැමැති නැහැ. අනාගතයේ දී හිතාගන්නවත් බැරි අසාමාන්‍ය ප්‍රතිඵලයක් හිමිකර ගන්න නම් අද කළ යුතු දේ කිරීමට බොහෝ අය කැමැති නැත. ඒ හින්දම බොහොමයක් දෙනෙක් සාර්ථකත්වය හිමිකර ගන්නේ නැහැ.

සාමාන්‍ය ප්‍රතිඵල හා අසාමාන්‍ය ප්‍රතිඵල හිමිකර ගන්නා අය අතර වෙනසක් තියෙනනේ අතිරේක කියන වචනයේයි. එනම් අසාමාන්‍ය ප්‍රතිඵලයේ මේ අතිරේක කියන කොටස අන්තර්ගතයි. එනම් ඔවුන් සාමාන්‍යයෙන් කරන ප්‍රමාණයට වඩා තවත් වැඩියෙන් වෙහෙස වෙලා අතිරේකවත් වැඩ කරලා. තමන්ගේ වෙහෙස ගැන නොහිතා තමන්ගේ සිහිනය ගැන පමණක් හිතලා ඒ වෙනුවෙන් වැඩි වැඩ කොටසක් කරලා තියෙන එකයි මෙතැන තියෙන වෙනස. දැන් බලන්න, අපි විශ්වවිද්‍යාලයට යන්න සිහින දකිනවා. ඒ වෙනුවෙන් උසස් පෙළ කරනවා. අපට ඇත්තටම හොඳින් කැපවෙලා වැඩ කරන්න තියෙන්නේ අවුරුදු දෙකයි. මේ අවුරුදු දෙක උපරිමයෙන් කැප කරලා වෙහෙස නොබලා අපි පාඩම් කරනවා නම්, පසුගිය ප්‍රහ්න පත්‍ර නැවත නැවත කරනවා නම් නැවත නැවත අභ්‍යාස කරනවා නම් අපිට ඉහළම ප්‍රතිඵලයක් අරගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න ලකුණු ලබාගන්න පුළුවන්. අපි සාමාන්‍ය මට්ටමින් කැපවෙනවා නම් අපිට සාමාන්‍ය ප්‍රතිඵලයක් හිමි වෙනවා. අපි විභාගය ගැන චුට්ට්ක්වත් හිතන්නේ නැතුව ඒ වෙනුවෙන් කිසිම වෙහෙසක් නොදරා බොරුවට අනෙක් අයට පේන්න කැපවෙන බව අඟවනවා නම් අපිට ලැබෙන්නේ ඉතාම අඩු වැඩකට නැති ප්‍රතිඵලයක්.

ඒ හින්දා ඔබ සිහිනයක් දැක්කා නම් ඒ සිහිනය ඉටුකරගන්න ඔබ, ඔබ සමඟම සටන් කරන්න ඕනේ. එහෙම සටන් කළොත් විතරයි අපිට දැකපු සිහිනය ඊටත් වඩා හොඳින් ඉටුකරගන්න අවස්ථාව උදාවෙන්නේ. උදෑසනින්ම අවදි වීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒත් සාර්ථක වෙන්න නම් උදෑසනම අවදි වෙලා තමන්ගේ කාර්යයන් ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් වෙහෙස දරා උදෑසනම අවදි වීම පුරුද්දක් බවට පත්කරගන්න. ඒ වගේම ඉක්මනින් නින්ද ඔබ වෙත ආවත් ඔබ කැපවීමෙන් නින්ද අමතක කර සාර්ථකත්වයට පත් වීමට ඔබ කළ යුතු දවසේ මෙහෙය නිමාකර මිසක නින්දට නොයන්න. අපේ සමහර දරුවන් රෑ 7 ට පොත් පාඩම් කරන්න යනවා. අනේ ඒත් සමහර දරුවන්ට රෑ 8 වෙනකම්මවත් ඇහැරිලා පාඩම් කරන්න බැහැ. ඒ නිසා එතැනදී අපහසුවෙන් හරි දරාගෙන ඉඳලා ඒක පුරුද්දක් බවට පත්කරගෙන අඩුම තරමේ රෑ 10, 11 වෙනකම්මවත් පාඩම් කරන්න පුරුද්දක් ඇති කරගන්න. නැවත. උදේ 4 ට පමණ අවදි වෙන්න. මෙය ඔබ මුළු ජීවිත කාලයම කළ යුතු දෙයක් නෙමේ. උපරිම කාලය අවුරුදු දෙකයි. අද සිට මේ කැපවීම ඇතිකරගන්න අයටත් හොඳ ප්‍රතිඵලයක් හිමි කරගන්න පුළුවන්. ඒ හින්දා සටන් කරලා කළ යුතු දේවල් ටික පුරුද්දක් බවට පත්කරගෙන සිහින සැබෑ කරගන්න වෙහෙසෙන්න. කැපවෙන්න.

ලබන සතීයේ දී අපි මෙසීගේ තවත් පාඩම් කියවමු.

2019/04/17 තරුණි බලන්න