සුබ ගමන් සහෘදයාණෙනි!

ජුනි 5, 2019

උපත දිනූ කාටත් මතු නොඑන්නට යායුතුම ගමනක් තිබේ. එය කවදා කෙසේ කොතැනකදී සිදුවේදැයි නොදන්නෙමු. වඩා වැදගත් වන්නේ අවසන් ගමනට පෙර ජීවත් වන කාලය අර්ථාන්විතව ගතකිරීමයි.

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් ගමන පසුගිය සතියේ ඇසුණු සංවේගදායි පුවතකි. ඔහුගේ වියෝව සිදුවූයේ වකුගඩු රෝගයක් සඳහා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

අවසන් ගමනට මෙලෙස ඉක්මන් වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා හැට අටවැනි වියේ පසුවිය. දක්ෂ රංගන ශිල්පියකු ලෙස තම ජීවිතය අරුත් ගැන්වූ ඔහු රසික හදවත් තුළ සදානුස්මරණීය චරිතයකි.

ඔහු කලා ලොවට පා තබන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන් වේදිකා නාට්‍යයේ රංගනයට එක්වෙමිනි. වේදිකාව මත දක්ෂ රංගන ශිල්පියකු වූ ගාමිණී හෙට්ටිආරච්චි යශෝරාවය, දඩබිම වැනි ටෙලි නාට්‍යවල සිට අද දවසේ සිදූ ටෙලි නාට්‍ය දක්වාම පුංචි තිරයේදී ද ප්‍රතිභාපූර්ණ රංගනයෙන් රසික සිත් දිනූවෙකි. අස්වැසුම, සිංහාවලෝකනය, විදූ, අයෝමා, බහුබූතයෝ, කොස්තාපල් පුඤ්ඤසෝම වැනි චිත්‍රපට රැසකටද ඔහුගේ රංගන දායකත්වය එක් වී තිබේ. මෙලෙස රංගන ශිල්පියකු ලෙස රසික සිත් දිනූ ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශයට අනුයුක්තව සේවයකර ඇත.

මේ ආදරණීය රංගන ශිල්පියා ආදරණීය කැදැල්ලකට හිමිකම් කියන්නටද වාසනාවන්ත විය. දෙදරු පියකු වූ ඔහුගේ දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි නැගී එන නිළියක් ලෙස පියාගේ අඩිපාරේ යමින් සිටින්නීය.

අවසන් ගමනට නික්ම ගිය කලාකරුවාණනි, ඔබට නිවන් සුව පතමු.