‘පාසල් වියේ සිටම පත්තරවලට ලියන්න උණක් තිබුණා’

ජූලි 10, 2019

මහාචාර්ය අජන්තා හපුආරච්චි

 

නිර්ව්‍යාජ සිනහවකින් මුව සරසාගත් ඈ කාටත් බොහෝ ආදරණීය චරිතයකි. සිහින් වූත්, වඩා උස් නොවූ සිරුරත් පෙන්වන්නේ බෙහෙවින්ම කුඩා ගැහැනු රූපකායකි. කෙටිව කැපූ කොණ්ඩය ඇගේ සැහැල්ලු ඉරියව්ව වෙනස් කරන එකම අංග චලනයයි. මම ඇය ඉදිරියේ අසුන් ගත්තෙමි.

මේ හිඳින්නේ ජනසන්නිවේදනය පිළිබඳ ලංකාවේ ප්‍රථම මහාචාර්යවරියයි. එපමණකදු නොව ඇය ජනසන්නිවේදන විෂයය සඳහා ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් ලංකාවේ පළමු කාන්තාවයි. බාහිරින් කුඩා ගැහැනු රූපයක හිමිකාරියක වුවද ලාංකේය කාන්තා ඉතිහාසය වර්ණවත් කරන තවත් එක් අති දැවැන්ත චරිතයකි. ඕ නමින් අජන්තා හපුආරච්චිය. නොඑසේනම් මහාචාර්ය අජන්තා හපුආරච්චිය.

ඇගේ චතුර කථිකත්වයෙන් ඔපවත් වූ ළයාන්විත හඬ ගලායන්නට විය. ඉදින් මම ඇගේ හඬට කෙමෙන් සාවධාන වූයේ ජීවිතය අර්ථවත් කරගත් මේ ප්‍රතිභා සම්පන්න දිරිය චරිතය ඔබේ දිවියට සමීප කරනු සඳහාය.

හීනයක ඇරැඹුම

“මං ඉපදුණේ කෑගල්ලේ මොලගොඩ ගමේ දරුවන් හත්දෙනකු ඉන්න පවුලක තුන්වැනි දියණිය ලෙසයි. තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා ගෘහණියක්. අපි හැදුණෙ වැඩුණෙ ඉගෙන ගත්තෙ බොහොම ලස්සන පරිසරයක. ඒත් අද වෙනකොට ඒ පරිසරය වෙනස් වෙලා. සමාජය පරිණත වෙලා. මගේ ජීවිතය මේ තරම් අර්ථවත් වුණේ බොහොම පුංචි අවධියේ මං දැක්ක හීනයක් නිසයි. ඇත්තටම පුංචි දරුවෝ දකින හීනවලින් මගෙ හීනය හුඟාක් වෙනස්. ඒත් මට ඕනෙ වුණේ ඒ හීනය සැබෑකර ගන්නයි. ඒ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා කියන හීනය. ඒ හීනය ඇතුළෙ වෙන වෙන හීන තිබුණේ නැහැ.

හැබැයි මම ඒ කාලෙ මහා ලොකු දක්ෂතා පෙන්වපු ළමයෙක් නෙමේ. ඒ වගේම මම පහ ශිෂ්‍යත්වය සමත් වූ කෙනකුත් නෙමෙයි. මගෙ ඔළුවෙ තිබුණෙ විශ්වවිද්‍යාලයට ගියාම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හොඳ බුද්ධිමත් කාන්තාවක් වෙන්න පුළුවන් කියන අදහසයි. ඒත් ඒකෙ මහා විශාල දැක්මක් තිබ්බෙ නැහැ. පුංචි මට තේරුණේ හොඳීන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට යනවාය කියන හැඟීම තමයි. මේ හීනය පන්තියෙන් පන්තිය ඉහළට යද්දී වෙනස් වුණෙත් නැහැ. ඒ එකම හීනය හිත දරාගෙන සාමාන්‍ය විදිහට ඉගෙන ගත්තා. මං හැදුණෙ වැඩුණෙ අපෙ අම්මගෙ නංගී සමඟයි. ඒ අය ගුරු පවුලක්. ඒ හින්දම ඉගෙනගන්න ඕනෙ කියන එක අපි හැමෝගෙම හිත්වල තිබුණා. ඒත් ඉගෙන ගන්නම ඕනෙ කියලවත් මේ දේ කරන්න, අර දේ කරන්න කියලාවත් අර පාරෙ යන්න, මේ පාරෙ යන්න කියලා අපිට අම්මා තාත්තා ගෙන්වත් වෙන කාගෙන්වත් කිසිම බලපෑමක් තිබුණේ නැහැ. අපිට ළමයින් විදිහටම හැදෙන්න හොඳ පරිසරයක් තිබුණෙ. අපේ තාත්තාට හොඳ බුද්ධියක් වගේම හොඳ අනාගත දැක්මකුත් තිබුණා. ඒ දේත් අපේ ඉගෙනීමට හොඳ බලපෑමක් වුණා. මුලින්ම ඉගෙන ගත්තෙ මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන්. පස්සෙ ජයපාල මහා විද්‍යාලයට ගියා. ඊට පස්සෙ රංවල මහානාග විද්‍යාලයට ගියා. ඒ පාසලෙන් උසස් පෙළ සමත්වෙලා තමයි කැලණිය විශ්වවිද්‍යාලයට ආවෙ.

මෙතැනදී මට තවත් දෙයක් මතක් වෙනවා. ඒ කාලෙ විශ්වවිද්‍යාලයක් කිව්වාම හැමෝම ආශාවෙන් හිටියේ පේරාදෙණිය ට යි. ඒත් මං නම් බොහොම කැමැත්තෙන් තමයි කැලණියට ආවේ.

අලුත් දිවියක් - හැරවුම් ලක්ෂ්‍යයක්

මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි විශ්වවිද්‍යාලය. ඒ කාලෙ අපි ගෙවල්වල හැදුණෙ වැඩුණෙ නීතිරීති එක්කනෙ. ඉතිං ගෙදරින් පිටවෙලා තනියම ජීවත්වෙන්න යන එක නම් හැබෑම සතුටක් වුණා. ඒ වගේම ඒ කාලෙ ළමයි හයසීයක් වගේ ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1973 දී. 1972 දී ජනසන්නිවේදන විෂයය හඳුන්වලා දී තිබුණා. එම විෂයය හදාරන්න අවස්ථාව හිමිවූ දෙවැනි කණ්ඩායම තමයි අපි. වැඩිම ලකුණු ගත්ත ළමයි 20 දෙනා අතර මාත් හිටියා. මගේ කණ්ඩායමේ හිටියෙත් ළමයි විස්සයි. මට පාසල් යන කාලෙ ඉඳලම පත්තරවලට ලියන්න උණක් තිබුණා. ඒ කාලෙම මං සරසවිය පත්තරේට ලිව්වා. එයින් ලැබුණු ජනප්‍රියත්වයට මං ආශා කළා. එතැනදී තමයි මට ජනසන්නිවේදනය පිළිබඳ ආශාවක් ඇති වුණේ. ඒ ආශාව හින්දමයි මම විශ්වවිද්‍යාලයේ දී ජනසන්නිවේදනය තෝරාගත්තේ.

ඒ වගේම අපි බොහොම අමාරුවෙන් දුෂ්කරතා විඳගෙනයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගත්තේ. ඒත් අද ඒ සඳහා බොහොම හොඳ පහසුකම් තියෙනවා. ඒ හින්දා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අද කාටත් අවස්ථාව උදාවෙලා තියෙනවා.

2019/07/10 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.