මම නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවා අවසන්

විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය
ජූලි 17, 2019

සොඳුරු ළමා වියක උරුමය රිසිසේ විඳි එක් ආදරණීය දැරියකි. ඈ දරුවන් සිවුදෙනකු ගෙන් යුත් පවුලක බාල දියණියයි. එපමණක් නොව ඈ අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා බෙහෙවින්ම බාලය.

එනිසාම මාපින්ගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ආදරය හා රැකවරණය ද නො අඩුව විඳින්නට පින්කර තිබුණාය. ඇය අද දහස් ගණනක් රෝගීන් සුවපත් කරන වෛද්‍යවරියකි.

නමින් චන්ද්‍රා ජයසූරිය ලෙසින් ප්‍රකට ඇය උගුර, කන, නාසය පිළිබඳ කොළඹ ජාතික රෝහලේ හිඳින එකම කාන්තා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියයි.

සමහරු ළමා අවදියේ සිටම බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය පිළිබඳ සුබ සිහින දකිති. වයසින් වැඩෙත්ම ඒ සිහින ඉටුකරගන්නට මහත් කැපවීමකින් කටයුතු කරන ඔවුහු අවසානයේ තමා අපේක්ෂා කළ සාර්ථකත්වය අත්පත් කරගනිති. එහෙත් මේ අතර බලාපොරොත්තු වීමකින් තොරව ජීවිතය සාර්ථක කරගත් ඇත්තන් ද ඉඳ හිට අපට හමුවේ.

ඒ සඳහා වාසනාවක් මෙන්ම හැකියාවක් ද තිබිය යුතුයි. වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය එවැනි කාන්තාවකි. ඉසිවර වෛද්‍ය වෘත්තිය යනු දේවත්වයෙන් පිදුම් ලබන වෘත්තියකි.

එහෙයින්ම එම වෘත්තියට පිවිසීමත් සුළුපටු දෙයක් නොවේ. ජීව විද්‍යා අංශයෙන් අපේ රටේ උසස් පෙළකර තරගකාරී විභාග ක්‍රමයකින් අතළොස්සකට පමණක් හිමිවන මේ වෘත්තිය වඩාත් ඇගයෙන්නේ මිනිස් පණනල රකින්නට ඔවුන් කරන කැපවීම නිසාමය. වෘත්තියේ ගෞරවය රකිමින් උපන් රටට සේවය කරන්නට කැපවෙන වෛද්‍යවරුන් හිඳින්නේ ද අතළොස්සකි.

ඒ අතළොස්ස අතර එක් අයෙක් ලෙසින් ඇය හඳුන්වා දීම ද ඇයට කරන ගෞරවයකි.

ප්‍රියමනාප හැසිරීමත්, කඩිසරබවත් ඇගේ උරුමයන් සේය. උදෑසන රැකියාවට පැමිණෙන ඇය දහවල් දොළහ වනතුරු රෝගීන් පරීක්ෂා කරයි. ඊළඟට ඈ පැමිණෙන්නේ වාට්ටු වෙතයි. දිවා ආහාරය එහිම හිඳ ගන්නා ඇයට ඉන්අනතුරුව කරන්නට තවත් රාජකාරි බොහෝය. වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කළ යුතුයි.

අඩුපාඩු සොයාබැලිය යුතුයි. ඒ අතර උගුර, කන නාසය පිළිබඳ වාට්ටුවල සේවය කරන හෙදියන් ආදී විවිධ කණ්ඩායම් දැනුම්වත් කරන්නට දේශන ද පවත්වයි. පැය විසිහතරම කාර්යබහුල වූ ඇය අද ‘ජීවිතය අර්ථවත් කළ ඇය’ හරහා ඔබ හමුවට එන්නීය.

“පසුගිය දා ඔයාලගෙ පත්තරේ පනස්වැනි සංවත්සරය සැමරුවානේ. ඒ නිසා තරුණී ගැන මගේ මතකයත් මගේ බැඳීමත් කියන්න ඕනෙ. අපි එතැනින් කතාව පටන් ගමු නේද?”

ඇගේ ඒ ප්‍රකාශයට ඉඩදෙමින් කාර්යබහුල වූ ඇගේ ජීවිතයෙන් සොරාගත් හෝරාවක කතාවයි මේ.

“තරුණී මංගල කලාපය පිටවෙනකොට මං බොහොම පුංචි දැරියක්. ඒ පළමු කලාපය මම බලලා තියෙනවා. අපේ අක්කා මට වඩා අවුරුදු 10 ක් වැඩිමල්. මං පුංචි වුණාට එයා තරුණයිනෙ. එයා තමයි පත්තරේ ගේන්නෙ. ඒ පත්තර අපේ ගෙදර එකතු කරලා තියෙනවා.

2019/07/17 තරුණි බලන්න