අම්මාගේ අවසන් බලාපොරොත්තුව මම ඉටු කළා

ජූලි 24, 2019

පාස්කු ඉරු දින බෝම්බයෙන් දිවි පිදූ ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේගේ  බාලදියණිය තාරංගා පවසයි.

මුළු මහත් ලොවම කම්පා කරමින් අප්‍රේල් 21 දා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් නොසිතූ ලෙස තම ජීවිතයෙන් සමුගන්නට අප ආදරණීය සූපවේදිනී ශාන්තා මායාදුන්නේටත් ඇගේ වැඩිමහලු දියණිය වූ නිසංගාටත් සිදුවිය.

අද වන විට ඔවුන් අපෙන් සමුගෙන මාස තුනකුත් ඉක්මවා ගොස්ය. නමුත් ඔවුන් නොසිතූ අයුරින් එසේ දිවියෙන් සමුගත්ත ද අප මතකයේ සදා අමරණීය චරිත වී සිටින බව නම් කිව යුතුමය.

අද අප මේ කෙටි සටහන ඔබ වෙත ගෙන එන්නේ ශාන්තාගේ බාල දියණිය වූ තාරංගා මායාදුන්නේ තම ආදරණිය මෑණියන්ගේ සිතේ තිබූ එකම බලාපොරොත්තුව සපල කළ ඒ පුවත ඔබ වෙත ගෙන එන්නටයි. එය ශාන්තාගේ ආදරණිය පාඨකයන්ට ද වටිනා තිළිණයක් වනු නොඅනුමානය. තාරංගා ඇගේ මතකය අවදි කළේ මෙලෙසිනි.

“මගේ අම්මාගේ හිතේ තිබුණු එකම බලාපොරොත්තුව වුණේ ‘ශාන්තාගෙන් ඔබට රස බොජුන් - 3’ පොත ඉක්මනින්ම පාඨකයන් අතට පත්කරන්නයි. එයා ඒ වෙනුවෙන් ගොඩාක් වෙහෙසුණා. හැම වෙලාවෙම කතා කළේ ඒ ගැනයි. ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණදෙන්න කලින් දවසෙත් එයා මට ඒ ගැන කිව්වා. මට මතක විදිහට අවුරුදු 3 - 4 ක් විතරම මේ පොත හදන්න අම්මා මහන්සි වී තිබුණා.”

අම්මා පාඨකයන් අතර ප්‍රසිද්ධවෙලා හිටියේ ඉක්මනට, පහසුවට කෑම හදන සූපවේදිනියක් විදිහටයි. ඉතිං එයාට ඕනෙ වුණේ කාර්යබහුල ජීවිතයක් ගතකරන විශේෂයෙන්ම අපි වගේ අයට පෝෂණීය ආහාරවේලක් ඉක්මනින්ම හදාගන්න හැටි මේ පොත හරහා උගන්වන්නයි.

කෘත්‍රිම රසකාරක කිසිවක් නොදා අපේ දේශීය කුළුබඩු විතරක් එකතුකරලා කෑම හදා ගන්නෙ කොහොමද කියලා අම්මා මේ පොත හරහා කියලා දෙනවා.

සාමාන්‍ය ආහාර වේලකට බත්, එළවළු වර්ග 2 ක්, මස්, මාළු, කරවල, පලා වර්ගයක්. සලාදයක් එකතුකර ගන්නවා. නමුත් දැන් කාලේ කාර්යබහුල කාන්තාවන්ට මේක හරිම කරදරයක්. ඒ නිසා එයාලා කඩෙන් කන්න පුුරුදුවෙලා. ඒකට විසඳුමක් දෙන්නයි අම්මාට ඕනෙ වුණේ. ඒකට අම්මා කළේ සාමාන්‍යයෙන් බත් සහ ව්‍යාංජන කීපයක් එකතු කරලා අනන විට දැනෙන රස, එක බත් පතකින් ගන්න උගන්වන්නයි. ඒකට අම්මා කියන්නේ ‘ව්‍යාංජන රසැති බත්’ කියලයි.

උදාහරණයක් විදිහට කියනවා නම් අම්මා ලියලා තියන එක කෑම වට්ටෝරුවක් තමයි ‘ලම්ප් රයිස් රසැති බතක්’ කියලා. ඒක අම්මා හදලා තියෙන්නෙ ලම්ප් රයිස් එක අනලා කනවිට එන රස දැනෙන්න.

එක බත් එකක් හදලා ඒක එයාගෙ යාළුවන්ට රස බලන්න දීලා. එයාලා කිව්වලු මේකෙ ලම්ප් රස් රස එනවා කියලා. ඒකෙන් අම්මට අවශ්‍ය දේ ලැබිලා තියෙනවා.

ඒ විදිහට කුළුබඩු එකතු කරලා එක බත් එකකින් රස කීපයක් දැනෙන විදිහට හැම කෑමක්ම අම්මා හදලා රස බලලයි මේ පොත ලියලා තියෙන්නෙ.

එහි අන්තර්ගතය ගැන කතා කරනවා නම් ව්‍යාංජන රසැති බත් වර්ග 10 ක්, විශේෂ අවස්ථාවකට සුදුසු ව්‍යාංජන රසැති බත් වර්ග 10 ක්, සලාද වර්ග 10 ක්, සුප් වර්ග 5 ක්, බීම වර්ග 5 ක්, කෙටි කෑම වර්ග 5 ක් සහ අතුරුපස වර්ග 5 ක් ලෙසට කෑම වට්ටෝරු 50 ක් අන්තර්ගතයි. මේ හැම කෑමක්ම එක් පුද්ගලයකුට හදන්න අවශ්‍ය ප්‍රමාණය සහ සිව් දෙනකුට හදන්න අවශ්‍ය ප්‍රමාණය විදිහට වෙන වෙනම ලියලා තියෙනවා.

උදාහරණයක් විදිහට කියනවා නම් එක් අයකුට හදන විට අවශ්‍ය කුරුඳු පොත්තේ දිග ප්‍රමාණය, සුදු ලූනු බික් ප්‍රමාණය වගේ හැම කුළුබඩුවකම ප්‍රමාණ වෙන වෙනම සඳහන් කරලා තියෙනවා.

උයන්න නොදන්න කෙනකුට වුණත් මේ පොත බලලා රසවත් බතක් ඉක්මනින්ම හදාගන්න අම්මා මේ පොත හරහා කියලා දෙනවා. ඇය මේ තරමටම මහන්සිවෙලා හදපු පොත පාඨකයන් අතට පත් කරන්න ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඇයට ඉඩක් දන්නේ නැහැ.

” ශාන්තාගේ බලාපොරොත්තුවූ තාරංගා දියණිය පසුගියදා මල්ඵල ගැන්වූයේ ඇයට ආදරය කරන සුවහසක් පාඨකයන් වෙනුවෙනුයි. ෆාස්ට් පබ්ලිකේෂන් ආයතනයේ සුරස ප්‍රකාශනයක් ලෙසින් ශාන්තාගෙන් ඔබට රස බොජුන් - 3, කෘතිය තිළිණ වෙනවා.

2019/07/24 තරුණි බලන්න