අම්මා මගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයයි

අගෝස්තු 7, 2019

ලෝක කොණ්ඩා මෝස්තර සංගමයේ ආසියානු කාලාපයේ සභාපතිනී

නයනා කරුණාරත්න

සොඳුරු රුව සේම කාන්තාවක සතු අපුර්ව පෞරුෂය ඔප් නංවා ගැනීම පිළිබඳ හැමදාමත් කතා කරන ඇයගේ රුව සේම හඬ ද අපූරුය.

පිළිවෙළ සේම වෙලාවට වැඩකිරීම අංක එක කරගත් ඇය ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයේ ආරම්භක සභාපතිනියයි.

එමෙන්ම වර්තමාන ලෝක කොණ්ඩා මෝස්තර සංගමයේ ආසියානූ කලාපයේ සභාපතිනිය ලෙසින් ද කටයුතු කරන නයනා කරුණාරත්න නම් වූ ඇයයි අද අපේ කතා නායිකාව. මේ කතාබහ අර්ථවත් වූ ඇයගේ ජීවිතය ගැනයි.

“මම ඉපදුණේ කැලණියේ. අපේ ගෙවල් තිබුණේ කැලණිය විහාරය කිට්ටුවමයි.

ඒ කාලේ දැන් වාගේ ඒ ප්‍රදේශය නාගරීකරණය වෙලා තිබුණේ නැහැ. අපිට හොඳට දුවපැන ඇවිදින්න ලොකු වත්තක් තිබුණා. ඊට පිටිපස්සෙන් වෙල් යායක් එහෙමත් තිබුණා.

ඉතින් ඇත්තටම හොඳ පරිසරයක ජීවත් වුණ ලස්සන ළමා කාලයක් මට තිබුණා.

 පියා නෑදෑයෝ අතර රජෙක්

මගේ අම්මයි, තාත්තයි දෙන්නම මාධ්‍යවේදියෝ. ජනතා පුවත්පතේ රාජා තිලකරත්න කියන්නේ මගේ පියා. අම්මා මල්ලිකා තිලකරත්න.

ලේක්හවුස් එකේදී මුණගැසුණු මේ දෙන්නා විවාහ වුණාට පසුව අම්මා ගුරු සේවයට එකතු වුණා. එයා තමයි කැලණිය ධර්මාලෝක විදුහලට ආපු ඉංගී‍්‍රසි කතාකරන පළමු උපාධිධාරිනිය. අපේ තාත්තා අවුරුදු 34 දී හදිසියේම මිය ගියා. එතකොට මට වයස අවුරුදු 07 යි. වැඩිමලා වුණු අක්කාට 08 යි. මල්ලිලා දෙන්නට අවුරුදු 04, 05 යි. අපේ ආච්චිලාගේ පරම්පරාවේ වැඩිමහල් දරුවා වෙච්ච තාත්තා හරිම ජනපි‍්‍රය චරිතයක්. නෑදෑයෝ අතර එයා හිටියේ රජෙක් වාගේ. මිය යනකොට කැලණි පන්සලේ ප්‍රධාන දායකයා වුණෙත් තාත්තා.

තාත්තා මිය යනකොට ‘ග්ලෝබ් පබ්ලිසිටි සර්විස්’ කියන පොඩි ආයතනයක් සහ ප්‍රෙස් (මුද්‍රණාලයක්) එකත් කළා. ඉතින් අම්මා ගුරු වෘත්තියට අමතරව තාත්තාගේ මේ ආයතන දෙකෙහිත් වැඩ කරමින් අපිව හදාවඩා ගත්තා. ඒ විතරක් නෙවෙයි ආච්චී, සීයා සහ තාත්තාගේ බාල සහෝදරයන් ටිකත් බලාගත්තෙ අම්මායි.

 

2019/08/07 තරුණි බලන්න