මට ගමේ විදිහට රසට කෑම උයන්න පුළුවන්

අගෝස්තු 7, 2019

නව පරපුරේ රංගන ශිල්පිනී ඖෂානි

රංගන ශිල්පිනියක වීම යොවුන් වියේ බොහෝ දෙනා තුළ තිබෙන සිහිනයක්. මේ හීනය සැබෑ කරගත් යෞවනියන් බොහෝ පිරිසක් දැන් ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. දඟකාර යෞවනයට නව අරුතක් ගෙන එමින් ‘තරුණී’ පාඨක යොවුන් ඔබට තිළිණ කරන ‘ඊඥඥද ර්‍ථතභඵ’ තුළින් හඳුන්වාදෙන ඇය ඖෂානි රත්නායක.

ඔබ කොහොමද කලාවට එකතු වෙන්නේ?

මට පුංචි කාලයේ ඉඳලම රංගනයට දක්ෂතාවක් තිබුණා කියා විශ්වාසයක් තිබුණා. ඊට පස්සේ ටික ටික රංගනය ඉගෙන ගත්තා. ටෙලි නාට්‍යවලට කලින් මුලින්ම සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම් කිහිපයකට. එහෙත් ප්‍රසිද්ධ වුණේ තෝඩු ටෙලි නාට්‍යයේ අමා චරිතය හරහායි.

කොහොමද තෝඩු නාට්‍යයේ අමා වුණේ?

සිංහ එන්ටටේන්මන්ට් ගෙන ආ නීල පබළු ටෙලි නාටයයේ පොඩි චරිතයක් කරපු නිසා ලලිත් වසන්ත සර් මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවා කියලා වටහාගන්න ඇති. ඒ නිසා ඔහු මාව ගොඩක් විශ්වාස කරලා තෝඩු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලබා දුන්නා.

‘අමා’ මොනවගේ චරිතයක් ද?

අමා කියන්නේ හරිම ආදරණීය චරිතයක්. හරිම දඟකාරයි. අමාට අම්මා නැහැ. තාත්තා තමයි ආදරයෙන් බලාගන්නේ. ඔවුන් හරියට අමා වගේම කටකාර, දඟකාර, චරිතයක්. ඒ නිසා ඒ චරිතය මට හරියටම ගැළපුණා.

සැබෑ ජීවිතයේදී ඖෂානිත් අමා වගේද?

සැබෑ ජීවිතයේදී අමා වගේම කියන්නත් බැහැ. නමුත් අමාගේ සමහර ගතිලක්ෂණ මා ළඟ තියෙනවා. අමා වගේම මමත් කටකාරයි, දඟකාරයි. නමුත් අමා තරම් බොළඳ නැහැ.

ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

තෝඩු ටෙලි නාට්‍යයේ අමාගේ පියාට රඟපාන්නේ ආනන්ද වික්‍රමගේ මහත්මායි. ඔහුගෙන් මට ගොඩක් උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම ප්‍රවීණයන්ගෙන් මට සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔවුන් මට කියලා දෙනවා. අපි හරිම එකමුතුවෙන් වැඩ කරනවා.

ඔබ කලාව තෝරාගත්තේ ඇයි?

මට හිතෙන විදිහට රංගන හැකියාව පෙර භවයේ සිටම ගෙන එන දෙයක් වෙන්න ඇති. දෙවියන් මට දුන් වාසනාවක් කියලයි හිතෙන්නේ. මුලින්ම කලාවට එන විට මගේ වයස 16 යි. දැන් වයස 17 යි.

ඔබ දක්ෂ රඟපෑමට පමණක්ද?

සින්දු කියන්න සහ නර්තනයටත් දක්ෂයි. ඒ වගේම අත්කම් නිර්මාණ කරන්නත්, මැහුම්, ගෙතුම්වලටත් දක්ෂයි. රසට උයන්නත් පුළුවන්. ගමේ විදිහට වගේම නවීන පන්නයේ වට්ටෝරු අනුවත් මම රසට කෑම උයනවා.

පවුලේ විස්තර.

අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි තමයි මගේ පවුලේ ඉන්නේ. තාත්තා මධුර දේශප්‍රිය. අම්මා ශිරානි හේමමාලා. තාත්තා ව්‍යාපාරිකයෙක්. අපි පදිංචිව ඉන්නේ බොරලැස්ගමුවේ. මම පවුලේ එකම දරුවා නිසා මේ හැමෝම මට හරිම ආදරෙයි.

රඟපෑමට ගෙදරින් විරුද්ධත්වයක් නැතිද?

නැහැ. කිසිම විරුද්ධත්වයක් නැහැ. මගේ ගෙදර අය පටු අදහස්වල ජීවත්වන අය නෙමෙයි. හරිම විවෘතව ජිවත්වෙන අය. ඉතිං එයාල මට කවදාවත් කියන්නේ නැහැ මේ දේ කරන්න කියලා. ඔයා දක්ෂ මොනවද ඒ පැත්තෙන් ඉදිරියට යන්න කියලා තමයි කියන්නේ.

අධ්‍යාපන කටයුතු කොහොමද?

මම පාසල් ගියේ රෝයල් ඉන්සිටියුට් ජාත්‍යන්තර පාසලට. දැනටත් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරමින් සිටිනවා. මම මූලිකත්වය ලබා දෙන්නේ අධ්‍යාපනයටයි. ඒ වගේම කලාවෙනුත් යමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

අමා හින්දා හරියට ආදර යෝජනා ගලාගෙන එනවා කියන්නේ ඇත්තද?

ඒක නම් ඇත්ත තමයි. මට ගොඩක් වෙලාවට ආදර යෝජනා ඇවිත් තියෙනවා. විදෙස් රටවල ඉන්න ලාංකිකයන්ගෙන් පවා ඇවිත් තයෙනවා. එහෙත් මම ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

ප්‍රතිචාර නොදක්වන්නේ ඔබ පෙම්වතියක් නිසා ද?

මම තවම අධ්‍යාපනය හදාරන කෙනෙක්. ඒ නිසා ඒවාට තව කල් තියෙනවා. ඒ නිසා මගේ මූලික අරමුණ ඉගෙන ගැනීම සහ රංගනයෙන් ඉදිරියට යෑමයි. ඒ දේවල් නිසි වයසේදී සිදුවේවි.

ඖෂානි ක්ෂේත්‍රයට අලුත් මුහුණක්. මොකද හිතෙන්නේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන?

මා ප්‍රසිද්ධ වුණේ අමා චරිතය නිසයි. ඒ චරිතයට මේතරම් සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියා මා සිතුවේම නැහැ. ඒත් මං උපරිමයෙන් එයට කැප වුණා. පවුලේ අයගෙන්, යහළුවන්ගෙන් වගේම මඟ තොටේදි දකින, හමුවන අයගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මාස කිහිපයක් ඇතුළත ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවීම ඇත්තෙන්ම වාසනාවක්.

ඔබේ අනාගත සැලසුම් මොනවාද?

මේ දිනවල විකාශය වන ‘සුසුමක ඉම’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට මා සම්බන්ධ වෙනවා.

චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබී තිබෙනවා. නමුත් මා වැඩි කාලයක් යොදවන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. මට වෙලාවක් ලැබුණොත් රංගන කටයුතු වලටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

සටහන - විදුමිණි දිසාකරුණා/ ඡායාරූපය - කවිත් මිලින්දු

 

2019/08/07 තරුණි බලන්න