අම්මා ජීවතුන් අතර හිටියා නම් මට

මේ එකක්වත් කරන්න ඉඩක් දෙන්නේ නැහැ
අගෝස්තු 28, 2019
 ඡායාරූප -  ද ශාන් රූපස්සර

 

මාව අනවශ්‍ය විදියට පාලනය කරන්න

බැරි බවත් ඔහු දැනගෙන හිටියා

 

 

සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්

 

ඇය නමට ගැළපෙන සේ ම තම හිතවතුන් හිතවතියන්ට යහපත් මිතුරියකි. රටේ සිනමා ලෝලීන්ට ද ඇය හිත මිතුරු ය. ලංකා සිනමා ඉතිහාසයේ කලාත්මක ධාරාවේ පළමු අධ්‍යක්ෂවරිය ඇයයි. තම ජීවිතය අර්ථයෙන් පුරවා ගන්නා අතර ම ඇය මහා පුරුෂයකුගේ සාර්ථකත්වයට අත්වැල් සැපයූ ආදරණීය බිරියක ද වූවාය. සුමිත්‍රා පීරිස් නම් වූ ඇය හෙළ සිනමාවේ කිවිඳිය යැයි විරුදාවලි ද ලද්දී ය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ පි‍්‍රය බිරිය වූ ඇය එනිසාම ගෞරවාදරයට පාත්‍ර වූවාය. ඉන් බාහිරව තමාගේම වූ අනන්‍යතාවකින් සිනමාවේදිනියක් ලෙස ලාංකේය සිනමා වංශකතාවේ වැඩි දායකත්වයක් දැරූ කාන්තා අධ්‍යක්ෂවරියක වූවාය. මෙයට වසරකට පෙර තරුණී සමඟින් ඇය කතාබහක නිරත වූයේ පි‍්‍රය සැමියාගේ තෙවැනි මස ගුණ සැමරුම අභියස දී ය. පුදුමයකට මෙන් අද ඔහුගේ වියොවින් වසරකට පසුව සුමිත්‍රාවන් තරුණී සමඟ කතාබහට එක්වන්නීය. ඇගේ අර්ථවත් වූ දිවියෙන් අපට ගත හැකි ආදර්ශ ද බොහෝ ය. එනිසා අපි ඇගේ දිවි ගමනේ සුවිශේෂ වූ කඩඉම් පිළිබඳ කතා බහ කරමු.

* ඔබේ පාසල් අවධිය ගැන

මතකය අවදි කරමුද?

අපි පොඩි කාලේ හැදුණේ අවිස්සාවේල්ලේ. ඒත් මම ඉගෙන ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ. පාසල් අවධියේ මම කලාවට වඩා ක්‍රීඩා කටයුතුවලට තමයි සම්බන්ධ වුණේ.. මම විද්‍යා විෂයයන්වලින් ඉගෙනගත් නිසා කලා කටයුතුවලට යොමු වුණේ නැහැ. කොටින්ම දැන් මගේ පින්තූර කොපමණ පත්තරවල පළ වුණත් මුලින්ම මගේ පින්තූරයක් පත්තරයක පළ වුණේ කවපෙත්ත විසි කිරීමෙන්

පළමුවැනියා කියලා පාසලේ ජූනියර් චැම්පියන් වුණු ක්‍රීඩා පුවතකටයි. මට මතක හැටියට දිනමිණ හෝ සිළුමිණ පුවත්පතක තමයි ඒ පින්තූරය පළ වුණේ. මට හිතා ගන්න බැරි වුණා කොහොමද මේ පින්තූරේ පත්තරේ පළ වුණේ කියලා..

මම දේශපාලන පසුබිමක් තියෙන පවුලක පුරුකක් නිසා අපිට මිනිසුන්ගේ හැඟීම් වැඩියෙන් දැනෙනවා. දේශපාලනයෙන් ක්‍රමය වෙනස් කරලා සමාජයට යහපතක් කළ යුතුයි කියන හැඟීම නොදැනුවත්වම ආගමක් වගේ අපේ ලේවලට ම කා වැදිලා තිබුණා..

* පාසල් අවධියෙන් පස්සේ ඔබේ

සිනමා ආගමනය සිද්ධවුණේ කොයි

විදියට ද?

කලාවට මගේ ඇල්මක් තිබුණා. මට මුලින් ම වුවමනා වුණේ වාර්තා චිත්‍රපට කරන්නයි. ඒ කාලේ සිනමාවක් කියලා දෙයක් හරියට ලංකාවේ තිබුණේ නෑ. ඒත් රජයේ චිත්‍රපට අංශයේ හොඳ වාර්තා චිත්‍රපට තිබුණා.. මට මතකයි මම ඉංගී‍්‍රසි චිත්‍රපටයක් බලන්න ඔලිම්පියා ගිය වෙලාවේ ඩොක්ටර් පීරිස්ගේ වාර්තා වැඩසටහනක් දැක්කා.

තරුණ වියේ ඉඳන්ම චිත්‍රපට ගැන මගේ තිබුණු උනන්දුව නිසාම තමයි ඒ පිළිබඳ හැදෑරීමක් කළ යුතුයි කියලා හිතුණේ.

ඒ වුණත් මගේ හිතේ පැහැදිලි අදහසක් තිබුණේ නැහැ මොන විදියට මොකක්ද කරන්නේ කියලා.. සිංහල චිත්‍රපටයක්වත් බලලා තිබුණේ නෑ. ඒ මුල් යුගයේ තිබුණෙත් ඉතිං 'සැඩ සුළං, කඩවුණු පොරොන්දුව' වගේ චිත්‍රපටිනේ.. ඒ නිසා බටහිර හොඳ චිත්‍රපට බැලුවා මිසක් කොමර්ෂල් චිත්‍රපට බැලුවේ නැහැ. ඒ වෙනකොට මට වයස 22-24ක් වගේ ඇති. මම විදෙස්ගතවෙලා මේ අධ්‍යයන කටයුතුවල යෙදිලා ඉන්නකොට තමයි මගේ අයියා සන්දේශය චිත්‍රපටය කරන්න මට කතා කළේ. ඒ වෙද්දී අවුරුදු තුනක් පිටරට ඉඳලා මටත් එපා වෙලා තිබුණේ.. මේ වෙනකොට මට හිතිලා තිබුණා චිත්‍රපට හදනවා නම් අපේ මිනිස්සු ගැන කතා නොකර රට ඉඳලා ඇති වැඩේ මොකක්ද කියලා..

ඇය බොහෝ ආසාවෙන් අතීතයේ කිමිදෙමින් සිටින්නී ය. ඒ අතීතය හැබෑවටම රසවත් බවට ඒ මුහුණේ ඇඳෙන මන්දස්මතය සාක්ෂි දරයි.

*සන්දේශයේ ඔබේ භූමිකාව

මොනවගේ එකක්ද?

මම සිනමාව ගැන ඉගෙනගෙන සන්දේශයට ආවාම තමයි මාවෝ සේතුං කියනවා වගේ ඉගෙන ගත්තට වඩා අත්දැකීම් වටිනා බව තේරුණේ..

 

මම සන්දේශයේ සහාය අධ්‍යක්ෂිකාවක් කීවාට අඛණ්ඩතා සම්බන්ධීකරීණයත් කළා.. මම ගමන පටන් ගත්තේ ඉතාමත් දුෂ්කර විදියට.. මොකද මම එංගලන්තේ ගිහින් ඉගෙනගෙන ආවා කියලවත්, මුළු කණ්ඩායමට ම මම විතරයි ගෑනු කෙනකුට හිටියේ කියලාවත් වෙනසක් තිබුණේ නැහැ. ඒ කාලේ මේ කර්මාන්තයට ගෑනු කෙනෙක් සම්බන්ධ වෙනවා කීවාමත් පුදුමයි.

මගේ අම්මා නැති වුණේ මට අවුරුදු දහතුනක් විතර වෙන කාලේ.. අම්මා ජීවතුන් අතර හිටියා නම් මේ එකක්වත් කරන්න මට ඉඩක් දෙන්නේ නැතිවෙයි...

එවර ඇගේ මුහුණ හැඩ වන්නේ අම්මාට හොරෙන් දඩබ්බර කමක් කළ දැරියකගේ සිනා මුසු පෙනුමකිනි.

* ජීවිතයේ ආදරණීය සෙවණැල්ල සැපයූ ඒ

සෙනෙහෙවන්තයා හමු වුණේ චිත්‍රපට නිසාමද?

සිනමාව ගැන හදාරන්න පිටරට ගිය වෙලාවේ තමයි මට ඩොක්ටර් පීරිස් මුල්ම වතාවට මුණ ගැහුණේ.. දැන් අපි ඔහු යුග පුරුෂයෙක් කියලා හඳුන්වනකොට කවුරුහරි හිතන්න පුළුවන් ලොකු, දැවැන්ත පුද්ගලයෙක්ව මම දැක්කා කියලා.. ඒත් එහෙම නෙවෙයි, බොහොම අහිංසක සාමාන්‍ය මනුස්සයෙක් මට කතා කළේ..

සන්දේශය චිත්‍රපටයේ වැඩ පටන් ගත්තාම තමයි ඩොක්ටර් පීරිස්ව සමීපව අඳුනාගන්න පුළුවන් වුණේ.. මනුස්සයෙක් වශයෙන් මනුස්සකම, අගය කිරීම පටන් ගන්න ඇත්තේ ඒ කාලේ. ඒක තමයි ඉතිං ටිකෙන් ටික අපේ සම්බන්ධයට හේතු වෙන්නත් ඇත්තේ.. ඔහු තමයි මගේ ජීවිතේ හිටපු එකම ගුරුවරයා, යාළුවා, සැමියා මේ ඔක්කොම..

ඇගේ මුහුණ ශෝකාකූල ය. එහි ලියැවී ඇත්තේ පි‍්‍රය විප්පයෝගයේ තරමයි.

 

 

 

2019/08/28 තරුණි බලන්න