රාණු මොන්ඩල්ගේ කතාවට පසු වදනක්

සැප්තැම්බර් 11, 2019

සැප්තැම්බර් මාසයේ තුන්වැනි අඟහරුවාදා උදැසන කොටුවේ දුම්රිය ස්ථානය පසුකරමින් යනෙන මගීන් මුහුණ දුන්නේ හද පාරවන අත්දැකීමකටය. නිට්ටඹුවේ පදිංචි විසි හය හැවිරිදි තරුණයෙක් ජංගම දුරකථනයට ආත්මයම සන්ධි කිරීම නිසා ජීවිතයම විසන්ධි කර ගත්තේය.

එවැනි ඉරණමකට මුහුණ දුන් ප්‍රථමයා ඔහු නොවේ. අවසන් පුද්ගලයාද ඔහු නොවන්නේය.

ලංකාවේ තරුණයකු මෙසේ දුම්රියට බිලි වෙද්දී ඉන්දියාවේ තරුණයෙක් දුම්රිය ස්ථානයකදීම මියැදෙමින් තිබූ දිවියකට පණ දුන්නේ ද ජංගම දුරකථනයෙනි. පුදුමය නම් එසේ ජීවය දුන් තරුණයා ද විසි හය හැවිරිදි වියේ පසුවීමය. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වෙයි.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ රනගත් දුම්රිය ස්ථානයේ ගී ගයමින් එදා වේල සරිකරගත් වැරැහැලි ඇඳගත් රාණු මොන්ඩල් නම් මැදිවියේ කාන්තාව ඔහු දුටුවේ මිතුරන් සමඟ දුම්රිය ස්ථානයේ තේ පානය කරමින් සිටියදීය. උස් හඬින් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ මොහොමඩ් රාෆිගේ ගීතයට සම වැදී සිටි ඔහුට පසෙක හුන් ගැහැනියක විසින් ගීතයේ තාලය අල්ලනු ඇසිණි. අතින්ද්‍ර ඇයගෙන් ලතා මංගේෂ්කාර්ගේ ගී ගයන ලෙස ඉල්ලා සිටියේ ය. ඔහු, ඇය භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ගේ ගී මධුර ලෙස ගයනු අසා ඊට වශීකෘත විය. ඔහු කෙතරම් වශීකෘත වූවාද කිවහොත් රාණු ගැයූ ‘ඒක් ප්‍යාර් නග්මා හෛ’ ගීය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර දෙදිනකින් මුහුණු පොතට එක් කළේය.

රාණු මොන්ඩල්ගේ මිනිත්තු දෙකේ වීඩියෝව මුහුණු පොතේ සැණෙකින් ජනගත වූයේ මිලියන තුනකට අධික පිරිසක් බාගත කර ගැනීමෙනි. 50,000 කට අධික පිරිසක් ඊට මනාපය දැක්වුහ. 40,000 ක් වීඩියෝව බෙදා හදා ගත්හ.

අතින්ද්‍ර චක්‍රබෝර්ති නම් තරුණ ඉංජිනේරුවරයා තම අත තිබූ අසිරිමත්, අරුමපුදුම තාක්ෂණික මෙවලම යොදා ගත්තේ තමන්ගේ හෝ අනුන්ගේ ජීවිත විනාශයට නොවෙයි. අද කාලයේ බොහෝ තරුණ තරුණියන් හදිසි අනතුරකින් පණ අදිමින් සිටින පුද්ගලයකුට පවා උපකාර කිරීමට වඩා කරන්නේ ඒ අවස්ථාවද වීඩියෝ ගත කිරීමය. ඒවා මුහුණු පොතට එක්කිරීමය. පනස් අට හැවිරිදි රාණු මොන්ඩල් එක් රැයකින් තරුවක් වූවා සේම අතින්ද්‍ර චක්‍රබෝර්ති ද එක් රැයකින් වීරයකු විය.

රාණු මොන්ඩල් ද දුක දිනා ගැනීමට සටන් වදින කාන්තාවන්ට පරමාදර්ශී චරිතයකි. දෙවරක් විවාහවී විවාහ දෙකෙන් දුව, පුතා, බැගින් දරුවන් සිව් දෙනකුට මවවූ ඇය දශකයක පමණ කාලයක් ජිවත්වූයේ දුම්රිය ස්ථානවල, බස් නැවතුම්පොළවල ගී ගයමින් කීයක් හෝ අයැද සිටීමෙනි.

 

2019/09/11 තරුණි බලන්න