ඇට බිඳුණ ද සිත නොබිඳුණු කැරී

සැප්තැම්බර් 18, 2019

අවුරුදු 29 දී ද ඇය කුඩා දරුවකු තරමට ම කුඩා ය. එසේ වන්නේ ඇයට වැලඳී ඇති රෝගී තත්ත්වයක් නිසා ය.

සිරුරේ ඇටකටු ඉතා ඉක්මනින් බිඳෙන ඔස්ටියොජෙනිසිස් ඉම්පර්ෆෙක්ටා නම් රෝගී තත්ත්වයෙන් පීඩා විඳින ඇය තමාට සරදම් කළ දෛවයට අභියෝගයක් වන්නට තීරණය කළාය. තම සිරුරේ අස්ථි ලෙහෙසියෙන් බිඳුණ ද ඇයගේ සිත ගල් කුලක් සේ දැඩි විය.

තමාට ලැබුණ ජීවිතයේ අඩුපාඩු ගැන දුක්වෙමින් වටිනා ජීවිතය දුකින් ගෙවා දමන බොහෝ දෙනාට ඇය ආදර්ශයකි.

මේ රෝගය නිසා රෝද පුටුවටම සීමා වුණු ඇගේ ජීවිතය කිසිවක්ම කරකියා ගත නොහැකි මට්ටමකට පත්ව තිබිණි.

ජානමය අක්‍රමිකතාවක් නිසා ඇයට මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු විය. එහෙත් කැරී වෙලස්කියුස් නම් මේ අපූරු තරුණිය ජීවිතයට දිරියෙන් මුහුණ දෙන්නී ය. පෝටෝ රිකෝහි පොන්ස් නගරයේ උපන් කැරී, මෙලොව එළිය දකින්නට දින තුනකට පෙර මේ රෝගී තත්ත්වයෙන් යුතු දරුවකු බව හෙළි විය.

ඇය මේ වන විට ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියකි. ඉතාමත් මැනවින් මේක් අප්කර ඕනෑම කාන්තාවක් සුන්දරව හැඩ වැඩ කිරීමට ඇයට ඇත්තේ අපූරු හැකියාවකි.

ඇයගේ මුහුණ තනිව මේක්අප් කරගෙන ඇති ආකාරය දැක්වෙන ඡායාරූප මඟින් ඇගේ දක්ෂතාව ඕනෑම අයකුට මනාව පෙන්නුම් කරයි.

කැරී, මේක්අප් කිරීම සම්බන්ධයෙන් ඉගෙනීම ලැබුවේ තනිවම හැදෑරීම්

කිරීමෙනි. ඇය අන්තර්ජාලයෙන් හැඩගැන්වීම් පිළිබඳ ඇති වීඩියෝ නරඹා, ඒ අනුව තම මවගේ හා සොයුරියගේ මුහුණ මේක්අප් කිරීමෙන් තමාගේ දැනුම අත්හදා බැලුවා ය. දිනෙන් දින දියුණු වූ ඇගේ හැකියාව මේ වන විට ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇත. ඒ සඳහා ඇයට වසර තුනක් ගත විය.

රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වෙමින් ඇය පවසා සිටියේ තමාට අවශ්‍ය වූයේ විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන්ට දොරක් විවරකර දීමට බවයි. මම දන්නවා මගේ කතාව බොහෝ දෙනකුගේ ජීවිත වෙනස් කිරීමට සමත් වෙන බව.

ඒ නිසා මා පිළිබඳ ලොවට හෙළි කිරීමට මට බියක් ඇති වුණේ නෑ.

දැන් ඇය ව්‍යාපාරික මට්ටමින් තම දක්ෂතාව මිල කිරීමට තරම් තත්ත්වයක සිටින්නී ය. ඇගේ ගනුදෙනුකාරියන් ඉතාමත් කැමැත්තෙන් ඇය සොයා පැමිණෙන අතර ඇයගේ මේක්අප් ද්‍රව්‍ය ඇයට ළංකර දීමට තරම් කාරුණික ය. එසේ කිරීම පාඩුවක් නොවන බව ඇගේ අතින් තම රුව අලංකාර වී ඇති අයුරු දකින ඕනෑම අයකුට සිතෙනු ඇත.

එහෙත් ඇගේ මේ ළැදියාව තේරුම්ගෙන ඇයට ඒ සඳහා උදවු උපකාර කළේ පවුලේ අයත් මිතුරු කැළත් පමණි. 'මට ඍණාත්මක විවේචන තවමත් එනවා. මම කැතයි කියනවා.

මගේ ඔළුව ලොකු නිසා මාව විකටයෙක් වගේ පේනවා කියනවා. මට නිතරම වැඩ කරන්න වෙලා තියෙන්නේ මේ දේවල් බොරු කියලා පෙන්වන්නයි.'

කැරී පවසන්නේ මේ ලෝකයේ ස්වභාවය පිළිබඳයි.

අපි කුමන මට්ටමක සිටියත් සාර්ථකත්වය බන්දේසියක තබා අප වෙත ලබා දීමට සමාජය සූදානම් නැත. වෙහෙස මහන්සියෙන්, කැපවීමෙන් අපි එය ලබා ගත යුතු වන්නෙමු. කැරී වෙලස්කියුස් අපිට පවසන්නේ ඒ සත්‍යතාව යි. එමෙන්ම ඕනෑම අයකුට උත්සාහයෙන් දිවිය ජයගත හැකි බවයි..