දෛවය කියලා හිතාගෙන හැමදේටම මුහුණ දුන්නා

සැප්තැම්බර් 25, 2019

සම්මානනීය රංගන ශිල්පී සුමින්ද සිරිසේනගේ බිරිය ලීලා සිරිසේන

අග්‍රගණ්‍ය කලාකරුවෙක් කියලා අපි හඳුන්වන්නේ විශිෂ්ට කුසලතාවලින් පරිපූර්ණ වූ පුද්ගලයෙක්වයි. රංගනයට අසමසම දස්කම් පෑ එවන් සුවිශේෂී කලාකරුවකු පිළිබඳ මෙවර ‘ආසයි අහන්න ඔහු ගැන කියන්න’ විශේෂාංගය තුළින් අප ඔබ වෙත ගෙන එනවා.

වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් එකසේ ජයගත් අපේ මේ කතා නායකයා අන් කිසිවකුත් නොව සුමින්ද සිරිසේන නම් කලාකරුවාණෝයි. ඔහු වසර කීපයක සිට රෝගී තත්ත්වයෙන් සිටියත් මේ වනවිට තරමක් සුවයෙන් පසුවන බව පසුගියදා අපට අසන්නට ලැබුණා.

එම පුවත කනවැකීමත් සමඟම ඔහුට බොහෝ සෙයින් ළෙන්ගතු මාධ්‍ය සගයන් වූ අප ඔහුගේ නවතම තොරතුරු දැනගැනීම සඳහා ගම්පහ ශ්‍රී බෝධි මාවතේ පිහිටි නිවෙසට ගොඩවැදුණා. කොතරම් අපහසුවෙන් පසුවුවත් ඔහු වගේම ඔහුගේ පි‍්‍රය බිරිය ලීලා සිරිසේන මහත්මියත් එහිදී අපව පිළිගත්තේ සිනාමුසු මුහුණින්.

එදා කලා ලෝකයේ විවිධ භූමිකා රඟ දක්වමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ ඔහු අද ගතකරන හුදකලා ජීවිතයට තරමක් හෝ අස්වැසිල්ලක් වන්නට අප ඔහු සමඟ ගත කළ ඒ මොහොතට හැකි වූවායැයි මට සිතෙනවා.

ඔහු අප හා පිළිසඳරේ යෙදුණු විලාසය නිසාමයි.

ඔහුට හදිසියේ ඇතිවූ මේ රෝගී තත්ත්වය පිළිබඳ ලීලා මහත්මියගෙන් පළමුවෙන්ම අප විමසුවා.

“එයාට මුලින්ම හැදුණේ උණ. ඒකට බෙහෙත් ගත්තට අඩුවුණේ නැති නිසා ගම්පහ රෝහලට ඇතුළත් කළා. එහිදී තමයි කිව්වේ මොළයට විසබීජයක් ගිහින් කියලා. පස්සේ ජාතික රෝහලට මාරුකළා. මොළයේ එක් පැත්තක සෛලවලට හානිවෙලා කියලා දැනගත්තේ එහිදීයි. ඉන් පස්සේ එයාට ඇවිදින්න වගේම කතා කරන්නත් අපහසු වුණා. වෛද්‍යවරු කියන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාර කරන්න කියලා. සතියකට දවසක් භෞත චිකිත්සකවරයෙක් ගෙදරට ඇවිත් ව්‍යායාම කරවනවා.”

නොහිතපු විදිහට සිදුවුණු මේ තත්ත්වය ඔබ දරාගත්තෙ කොහොම ද?

“මුළු ජීවිතයම කඩා වැටුණා වගේ දැනුණා. නිදහසේ හරිම සතුටින් අපි කාලය ගතකළේ. ඒත් මොනවා කරන්නද දුක, සතුට හැම දෙයක්ම ජීවිතයට උරුමයිනේ. මේක දෛවය කියලා හිතාගෙන හැමදේටම මුහුණ දුන්නා. දැන් මහත්තයට ටික ටික ඇවිදින්න පුළුවන්”

ඔයාට මහත්තයා හම්බවුණේ ආදර සම්බන්ධයකින් ද? එහෙමත් නැතිනම් යෝජනාවකින් ද?

“අපි දැන හඳුනගත්තේ පාසලේදී. ඒ කියන්නෙ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී. මම හිටියෙ විද්‍යා අංශයේ. එයා උසස් පෙළට කළේ ගණිතය විෂය ධාරාව. මෙයා හැමදාම අපේ පන්තිය ළඟට ඇවිත් බලාගෙන ඉන්නවා. යාළුවො අතේ පණිවුඩ එවනවා. ඒත් මුලින්ම මම කැමැති වුණේ නැහැ. පස්සෙ පස්සෙ මගෙ හිතත් ගියා. අපි අවුරුදු දහතුනක් විතර ආශ්‍රය කළා. මේ කාලෙදි ගෙදරිනුත් දැනගත්තා. එයාලගෙ ආශීර්වාදය මැද්දෙ අපේ විවාහය සිද්ධ වුණා. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ගයාරංග ප්‍රභාත්. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. එයා විවාහකයි. පදිංචිවෙලා ඉන්නෙ නෙදර්ලන්තෙ. පොඩි පුතා නන්දිත ප්‍රසාද. එයා ඡායාරූප ශිල්පියෙක්. එයාගෙම කියලා ආයතනයක් ගෙදරම පවත්වාගෙන යනවා”

බිරියගේ අතීත හෙළිදරව්ව සුමින්දගේ මුවඟට සිනාවක් ගෙනාවා. ඔහුගේ සිතත් අතීතයට යන්න ඇති.

සුමින්ද අයියගෙ පුංචි කාලෙ ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැති නිසා අපි ඔහුට කටහඬ අවදි කරන්න ඉඩ දුන්නා.

1948 ජූලි 4 වැනිදා කෑගල්ල දිස්ත්‍රික්කයේ බොස්සැල්ල කියන ගමේයි මම ඉපදුණේ. මගේ අම්මා පුංචි නෝනා, තාත්තා බුලත්ගමුව. මගේ පවුලේ හිටියෙ නංගිලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි, මමයි. මම තමයි පවුලේ වැඩිමලා. මම මුලින්ම ගියේ බොස්සැල්ල ජ්‍යෙෂ්ඨ විද්‍යාලයට. පස්සේ බොස්සැල්ල මහ විද්‍යාලයට ඇතුළත් වුණා. අටේ පන්තියේදී විද්‍යා ශිෂ්‍යත්වයක් තිබුණා. ඒක සමත්වෙලා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

පුංචි කාලෙ ඉඳලම නාට්‍ය, විවිධ ප්‍රසංග බලන්න යන්න මම කැමැතියි. රඟපාන්නත් හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒ කාලෙ බොහොම කෙළිදෙලෙන් අපි කාලෙ ගතකළේ. ගමේ වැඩිහිටියො කීප දෙනෙක් එක්ක එකතුවෙලා හැමදාම හවසට පන්සල් යනවා. මල් පහන් පූජා කරලා. ගාථා කියනවා. පස්සෙ අකනිටා බඹලොවට ඇහෙන්න කියලා කෑගහලා සාදු කියනවා. ඒ කාලෙ හරිම සතුටින් කාලය ගතකළේ.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

2019/09/25 තරුණි බලන්න