මම සම්මාන පසුපස හඹා යන කෙනෙක් නෙමෙයි

නොවැම්බර් 6, 2019

සුමති සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නළුවා සුමිරාන් ගුණතිලක

පුංචි තිරයේ කලා මංගල්‍යය සුමති ටෙලි සම්මාන උළෙල කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂී කඩඉමක්. මෙවර 24 වැනි වරටත් පැවැත්වූ සුමති සම්මාන උළෙලේදී ජනපි‍්‍රයම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ඔහුයි. ඔහු සුමිරාන් ධනංජය ගුණතිලක.

ඒ නිසාම ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවයන් ඇගයීම සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ නියුතු කලාකරුවන්ගේ ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු මේ සම්මාන උළෙලේදී ඔහු කා අතරත් කතා බහට ලක්වූ චරිතයක් වුණා.

සුමිරාන් ධනංජය ගුණසේකර කියන්නේ තරුණ, දක්ෂ, කඩවසම් සේම සුහදශීලී සොඳුරු චරිතයක්. කුඩා කාලයේදීම නිවේදකයෙක් ලෙස කලාවට පිවිසි ඔහු පසුව රංගනයට දායක වූවත් කෙටි කාලයක් කලාවට තිත තබා සිටියා. එහෙත් දෛවය ඔහුව නැවතත් නළුවකුගේ තැනට ගෙනැවිත් තබන්නේ සිරස නාළිකාවේ විකාශය වන ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ අභිමන්ගේ චරිතය හරහායි. මෙවර ජනපි‍්‍රයම නළුවාට හිමි සම්මානය ලැබීම පිළිබඳ ඔහු මෙලෙස හඬ අවදි කළා.

ජනපි‍්‍රයම නළුවා සම්මානය ගැන මොකද හිතෙන්නේ

ඇත්තටම සතුටුයි. ජනපි‍්‍රයම නළුවාට හිමි සම්මානය ලැබුණා කියන්නේ තවත් ඉදිරියට යන්න ලොකු අවස්ථාවක්. මේක සාමාන්‍ය සම්මාන උළෙලක් නොවෙයි. ලොකු ජූරියකින් තමයි තෝරා ගැනීම් කරන්නේ. ඉතින් ඔවුන් මට මේ සම්මානය දෙන්න තීරණය කර තිබුණා. ඒ සම්මානයේ ගරුත්වය මම දිගටම තියාගන්නවා. ඒ නිසා මම කළයුත්තේ මගේ රංගනය තව පහළට වට්ටවා ගැනීම නොවෙයි. තව තවත් රංගනයෙන් ඉදිරියට යෑමයි කළයුත්තේ. එවිටයි ඒ සම්මානයේ ගරුත්වය රැකෙන්නේ.

හොඳම නළුවා වේවා, ජනපි‍්‍රයම නළුවා වේවා, කුසලතා සම්මාන වේවා මේ මොන සම්මානයක් වුණත් මම සම්මාන පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි. මේ සම්මානය මට ලැබුණාට ගොඩ දෙනෙක්ගෙන් සුබපැතුම් ගලා එනවා. ඒ අතරේ විවේචනය කරන කිහිප දෙනකුත් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. හැම කෙනාම එකම කෙනාට කැමැති නෑනේ. එක් එක්කෙනාගේ කැමැත්ත අකැමැත්ත වෙනස්. ඒක ලෝක ස්වභාවය.

මෙවන් සම්මානයකට හිමිකම් කියන්න හැකිවෙයි කියලා ඔබට බලාපොරොත්තුවක් තිබුණ ද?

කොහෙත්ම නැහැ. මම රංගනයට එන්න හිතන් හිටියේ නැහැ කවදාවත්. රංගනයට ආවෙත් අහම්බෙන්. මේ සම්මානයත් අහම්බෙන් වුණු දෙයක්. සිතූ දේ නොම වෙයි, නොසිතු දෙයම වෙයි කියලා කියනවානේ. ඒ වගේ මට මගේ ජීවිතයේ සිදුවුණේම මම හිතපු දේවල් නෙවෙයි. නොසිතූ දේවල්මයි. සමහර විට මේක මගේ වාසනාව වෙන්න ඇති.

නළුවෙක් වෙන්න කලින් සුමිරාන් නිවේදකයෙක්

ඔව්. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගන්න කාලෙ ඉඳන්ම මම නිවේදන තරගවලට, කථික තරගවලට සහභාගී වුණා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයකු විදිහට කටයුතු කළා. රාජකීය විද්‍යාලය සෑම වසරකම පවත්වන ‘සාගා’ ප්‍රසංගය ජනපි‍්‍රය ප්‍රසංගයක්. එය අඛණ්ඩව අවුරුදු 8 ක් නිවේදනයෙන් මෙහෙයවීමේ අවස්ථාව ලැබුණා. එවැනි දේ නිසා මම පාසලේ ජනපි‍්‍රය චරිතයක්.

ඒ වගේම රූපවාහිනියේ ළමා වැඩසටහන්වලට සම්බන්ධවෙලා අවුරුදු 4 ක් පමණ නිවේදනයෙන් දායක වුණා. උසස් පෙළ කරන කාලේ වෙනකොට මට අවස්ථාව ලැබුණා රූපවාහිනියේ සීනියර් ප්‍රෝග්‍රෑම් කරන්නත්. ඉතින් ඒ කාලේ මම එක දිගටම නිවේදකයෙක් විදිහට කටයුතු කළා.

සුමිරාන රංගනයට පිවිසෙන්නේ කොහොම ද?

මුලින්ම මට අවස්ථාව ලැබුණේ ‘සුළඟ’ ටෙලි නාට්‍යයේ ‘පවන්’ කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන්නයි. ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු දෙකක් වගේ යනකොට තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඒකෙන් පස්සේ ‘රන් සමනලයෝ’, ‘පිපෙන මල්’ කියන ටෙලි නාට්‍යවලත් රඟපෑවා.

 

2019/11/06 තරුණි බලන්න.