කෙනෙක් ගුණ යහපත් නොවේ නම් කොතරම් ලස්සන වුණත් වැඩක් නැහැ

නොවැම්බර් 20, 2019

Miss Tourism International  කිරුළ දිනූ රංගන ශිල්පිනී ගයාත්‍රී කාංචනමාලි

මෙවර Miss Tourism International  තරගාවලියෙන් ජයග්‍රහණය කළේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන රංගන ශිල්පිනියක්. ඇය ගයාත්‍රී කාංචනමාලි.

නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට පිවිසි ඇය නොබෝ කලකින්ම ක්ෂේත්‍රයේ කා අතරත් කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වුණා. ඒ ඇගේ නිසඟ කලා හැකියාවන් සහ නොමඳ වාසනා ගුණය නිසාවෙන්.

ඇය පසුගියදා ලබාගත් කිරුළේ උණුසුමක් සමඟින් ඒ පිළිබඳ කතා කරන්න තරුණි අපි ඇය සමඟ කතා බහක නිරතවෙන්න හිතුවා.

 ගයාත්‍රී කොහොමද ජීවිතේ ගෙවෙන්නේ

පසුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වුණා. ඒ මම පළමු වතාවට බියුටි පැජන්ට් එකකට සහභාගී වුණු නිසා. ඉතින් ගොඩක් මහන්සි වෙන්න වුනා ඒ වෙනුවෙන්. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට මට මේ තරගයෙන් ජයග්‍රහණය කරන්නත් හැකි වුණා. ඒ ලැබුණු ජයග්‍රහණය සතුටින් භුක්ති විඳිමින් ඉන්නවා.

 තරගයට ඉදිරිපත් වුනේ කොහොම ද ?

පැජන්ට් එක ගැන දාලා තිබුණ පෝස්ට් එකක් දැකලයි තරගයට ඉල්ලුම් කළේ. නමුත් මට පැජන්ට් එකට යන්න ලොකු අදහසක් තිබුණේ නැහැ. මගේ නංගිට මේ පෝස්ට් එක ගැන කිව්වාම ඇය තමයි තරගයට ඉදිරිපත් වෙන්න කියලා අදහස දැම්මේ. අද මම මේ ලබපු ජයග්‍රහණය ගැන මටත් වඩා සතුටු මගේ නංගිට.

ලැබුණු ජයග්‍රහණය ගැන කතා කළොත්

හැමෝම දක්ෂයි, ලස්සනයි. ලොකු තරගකාරීත්වයක් තිබුණා. ඒ කොහොම වුණත් අපි හැමෝම එකා වගේ සහයෝගයෙන් මිතු දමින් මේ තරගයට ඉදිරිපත් වුණා. ඒක මට ලොකු හයියක් වුණා. අපි හැමෝටම කවුරු දිනුවත් තිබුණේ ලොකු සතුටක්.

මේ තරගය වෙනුවෙන් කීදෙනෙක් පමණ සහභාගී වුණා ද ?

රටවල් 50 ක් නියෝජනය කරමින් තරගකාරිනියන් සහභාගී වුණා. ඉතින් බොහෝ පිරිසක් පළමු වටයට සහභාගී වෙලා හිටියා. ඊට පසුව ක්‍රම ක්‍රමයෙන් තමයි කට්ටිය අඩු කරලා තෝරාගත්තේ. අවසන් 12 දෙනා අතරට පැමිණීමෙන් පසුවයි ඇත්තටම තරගය ආරම්භ වුණේ. අවසන් තරගය පැවැත්වුණේ කොළඹ ගලදාරී හෝටලයේ දී.

ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණ ද?

තරගයකට ගියාම අපි හැමෝටම ඕනේ ජයග්‍රහණය කරන්නනෙ. නමුත් තරගයට ඉදිරිපත් වෙද්දී මට එහෙම හැඟීමක් තිබුණේ නැහැ. නමුත් තරගයෙන් මම ටික ටික ඉදිරියට යද්දී මට ඒ ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඉතින් අපි හැමෝම ගොඩක් සහයෝගයෙන් වැඩ කළා එක කිරුළක් වෙනුවෙන්. අවසන් තරගයට තේරුණ පසු මට ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා මේ කිරුළ මටම ලැබේවි කියලා.

 කිරුළ ලැබෙද්දි දැනුණ සතුට කොයි වගේ ද?

ඕනෑම තරුණියක් ඔටුන්නක් පලඳිනවා කියද්දි දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. තමන්ට කවුරුහරි ලස්සනයි කියනවානම්, අගය කරනවානම් ඕනෙම කෙනෙක් කැමැතියිනෙ. ඉතින් කිරුළ පලඳිද්දී ලොකු ආඩම්බරයක් සහ නිහතමානී සතුටක් දැනුණා. ඒ වගේම මට මේ දක්වා එන්න උදවු කළ හැම කෙනකුටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

 තරගය ජයග්‍රහණය කරන්න ජනතා ප්‍රතිචාරයත් අවශ්‍ය වුණා ද ?

ඔව්.. මිස් පොපියුලර් කිරුළ ලැබුණේ මට. එතැනට ඇවිල්ලා හිටපු සියලුම දෙනාගේ ඡන්ද පරීක්ෂණයකින් වැඩිම ඡන්ද මට තමයි ලැබිලා තිබුණේ.

මේ තරගයේ දී ඔබට ජයග්‍රහණ කිහිපයක්ම ලැබුණා නේද ?

ඔව්. ලොකුම ජයග්‍රහණය තමයි මිස් ටුවරිසම් ඉන්ටර්නැෂනල් 2019 (Miss Tourism International - 2019) කිරුළ දිනාගන්න ලැබුණ එක. ඊට අමතරව එම තරගයෙන් මිස් බෙස්ට් කැට්වෝක්, මිස් මෝස්ට් පොපියුලර් සහ මිස් බෝගල විලේජ් ක්වීන් යන පැජන්ට් කිහිපයක් මට ජයග්‍රහණය කරන්න හැකි වුණා.

2019/11/20 තරුණි බලන්න