තවම වයස අවුරුදු 5 යි රංගනයට ආවේ වයස අවුරුදු 4 දී

නොවැම්බර් 27, 2019

ජනපතිතුමාට නෙළුම් මල් මිටක් දෙන ඖචිත පුතාගේ නිවෙසට ගියෙමු

ස්වර්ණවාහිණී නාලිකාවේ සතියේ දිනවල විකාශය වන ‘ඇය’ ටෙලි නාට්‍යය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් නවතම ටෙලි නාට්‍යයකි. විවිධාකාර ගැටලු හමුවේ දරුවන් දෙදෙනකු සමඟ තනිව ජීවිතය ගෙන යන ධෛර්යසම්පන්න කාන්තාවක් වටා ගෙතුණු මේ ටෙලි නාට්‍යය සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණයක්.

මේ නාට්‍යයේ පුංචි පුතුගේ චරිතය නිරූපණය කරන ඖචිත ශ්‍රී අබිමන් වඩාත් ජනප්‍රිය වන්නේ මෑතකදී විකාශය වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂක ඡන්ද ව්‍යාපාරය සඳහා විකාශය වූ ප්‍රචාරක දැන්වීම හරහායි. මෙම ප්‍රචාරක දැන්වීමේ ජනාධිපතිතුමන්ට දෑතින් නෙළුම් මල් මිට පිළිගන්වන්නේ මේ ඖචිත පුතණුවන්. අප ඒ හුරතල් පුංචි පුතණුවන් සොයා පසුගිය දා ඔහුගේ නිවහනට ගොඩ වැදුණා. පුතුගේ පියා වන වරුණ ජයනාත් සහ මව අසංකා දර්ශනී කතාබහෙන් එක්වුණේ තවමත් පස් හැවිරිදි පුංචි ඖචිතට හැම දෙයක් ගැනම විස්තර කරන්න තේරුමක් නැති නිසා. ඖචිතගේ පියා වරුණ ජයනාත් ද කලා ක්ෂේත්‍රයේ පළපුරුදු කලාකරුවෙක්.

ඖචිත රංගනයට පිවිසෙන්න හේතුව වූයේ ඔබ කලාවට සම්බන්ධ අයකු නිසා ද?

ඒක එහෙම්මම කියන්න අමාරුයි. මම හිරු නාළිකාවේ ආරම්භක සාමාජිකයෙක්. දැන් අවුරුදු 21 ක් වෙනවා මාධ්‍යවේදියෙක් හැටියට වැඩ කරන්න අරන්. ඒ පසුබිමත් එක්ක තමයි පිටපත්, රචනයට, ලේඛන කලාවට ඇතුළු වෙන්නේ. ඊට පස්සේ මම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හැටියට වැඩ කරන්න ගන්නවා. ඒ පසුබිමත් එක්ක මේ ක්ෂේත්‍රය තුළ බොහෝ පිරිසක් මාව හඳුනා ගන්නවා. පුතා රංගනයට එන්න ඒ දේවල් හේතුවූවා වෙන්නත් පුළුවන්.

පුතාගේ පළමු රංගනය මතක් කළොත්?

මම දැනට අවුරුද්දකට විතර කලින් හිරු ටීවී එකේ ටෙලි සිනමා සිත්තම් නාට්‍ය මාලාවට පිටපතක් ලිව්වා. මට ඒක අධ්‍යක්ෂණය කරගන්න විදියක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ පිටපත මගේ මිත්‍රයෙක් වන නිවන්ත ප්‍රසාරට කියවන්න ලබා දුන්නා. ඔහු හිරු ආයතනයේ වවිධායක නිෂ්පාදකවරයෙක්. ඉතිං ඔහු කිව්වා පිටපත ඔහුට දෙනවනම් ඔහු කරන්නම් කියලා. ඔහු අපේ පවුලට සම්බන්ධ ළඟම මිත්‍රයෙක්. ඔහු මට කියනවා පොඩි එකාව මේකට ගමු කියලා. ඒකේ මේන් රෝල් එක තමයි පුතාට හම්බවෙන්නේ. පුතාට වයස එතකොට අවුරුදු 4 යි. පුතා පොඩි වැඩි නිසා මම අකැමැති වුණා. කොහොම හරි අන්තිමට මගේ පිටපත තමයි පුතාගේ පළමු රංගනය වුණේ. ඒ රංගනය පුතා ඉතාම හොඳට නිදහසේ කළා.

තාත්තා එක්ක කතා බහ කරනකොට ඖචිතත් තාත්තා ළඟ දැවටි දැවටී ඉන්නවා

ඖචිත දැන් ගොඩක් ජනප්‍රියයි නේද?

ඔව්... මොන්ටිසෝරි යාළුවෝ මාව ටීවී එකේ දැකලා මගෙන් අහනවා. අයියාගේ යාළුවොත් අහලා තිබුණා.

පුංචි වයසට දැඟලිල්ලමනේ. ඖචිතත් එක තැනක රැඳෙන්නෙම නෑ. මිදුලට දුව ගියේ අයියා එක්ක සෙල්ලං කරන්න. ඒ හින්දා තාත්තා එක්ක නැවත කතා බහට වැටුණා.

‘ඇය’ නාට්‍යයට පුතාට සම්බන්ධ වෙන්න හැකි වුණේ පෙර රංගනයේ දක්ෂතාව නිසාද?

ඔව්. නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදන කළමනාකරු ලක්රුවන්, පුතාගේ දක්ෂතා දැකලා ඇය නාට්‍යයේ අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ අයියාට මගේ පුතා ගැන කියලා තිබුණා. මම සමන් අයියව කලින් ඉඳන්ම අඳුරනවා. ඔහු මගෙන් මේ ගැන ඇහුවත් මං මුලදි කැමැති වෙන්නේ නැහැ. මේ නාට්‍යයේ පිටපත චින්තක පීරිස්ගේ. ඔහු ප්‍රවීණ පිටපත් රචකයෙක්.

දරුවාගේ පැත්ත ගැන හිතලයි මුලදී අකැමැති වුණේ. මොකද නාට්‍යයක් රූගත කිරීම් කරනකොට දරුවාට ඒක දරාගන්න අමාරු තැත් එනවා. මහන්සිය, ඒ පරිසරයට නුපුරුදු බව, අලුත් මුහුණ ඒ දේවල් එක්ක දරුවකුට අමාරුයි. මම හැම වෙලාවෙම බලන්නේ දරුවාගේ පැත්තෙන්. දරුවා මගේ නිසා නෙවෙයි. එයත් දරුවෙක් නිසයි.

මම මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා ඒ වෙන දේවල් මම හොඳින් දන්නවා. නාට්‍යවල රුගත කිරිම් කරන්නේ ඉලක්කවලට ඒ දේවල් මත දුවන කොට දරුවකු ගැන හිතන්න තියෙන ඉඩකඩ අඩු වෙනවනේ. නමුත් සමන් කුමාර ලියනගේ ඊට වඩා වෙනස් විදිහට හැසිරෙන කෙනෙක්. ඒ නිසා පුතාව මේකට සම්බන්ධ කරනවා කියලා තීරණය කළා.

දර්ශන තලයේදී ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

සමන් කුමාර අයියා පියෙක් විදිහට මගේ පුතාට ළං වෙනවා. එයාව වඩාගෙන, තුරුලු කරගෙන ඉඹලා එයත් එක්ක වෙන වෙන කතන්දර කතා කරලා එයාට චරිතයට හැඩ ගැහෙන්න වෙලාව දෙනවා.

සමන් කුමාර හැරුණුවිට නිෂ්පාදන කණ්ඩායමේ ලක්රුවන්, වසන්ත, මධුරංග, කැමරා ක්‍රියාකරු චමින්ද ඒ වගේම රංගන පිරිස ලොකු සහයෝගයක් දෙන්නේ. විශේෂයෙන්ම මවට රඟපාන මහේෂි මධුසංකා වගේම දියණියගේ චරිතය කරන ගගනි දුවත් පුතාට හරිම ආදරයෙන් ඒ කටයුතුවලට උදව් කරනවා.

 

ඡායා -  ශාන් රූපස්සර

 

2019/11/27 තරුණි බලන්න