මගේ පළපුරුද්ද සහ දැනුම අනාගත පරපුරට ලබාදෙන්න කැමැතියි

දෙසැම්බර් 4, 2019

දඟ පන්දුවෙන් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ රංගන හේරත්

අපේ රටේ ලොකු කුඩා කාගේත් ඉමහත් ජනාදරයට පාත්‍ර වූ ක්‍රීඩාවක් වේ නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාවයි. මෙරට ජාතික ක්‍රීඩාව ලෙසින් වොලිබෝල් ක්‍රීඩාව නම් කර තිබුණ ද ඒ ජාතික ක්‍රීඩාවටවත් නොමැති ඇල්මක්, බැල්මක් සේම ළෙන්ගතුකමක් ක්‍රිකට් ක්‍රීඩාව ලබා ඇති බව කාටත් නොරහසකි.

එසේම 1996 වසරේ ලෝක එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අපේ ක්‍රීඩකයන්ට හැකිවීමත් මේ තරම් ක්‍රිකට් ක්‍රීඩාව ජනපි‍්‍රය වීමට හේතුවකි.

දශක හතරක් පුරාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපට ලැබුණු කීර්තිය ද අති මහත්ය. ඒ කණ්ඩායමක් ලෙසින් මෙන්ම කාලයෙන් කාලයට අපේ තණපිටියට පායා ආ සුපිරි තරු මේ ක්‍රීඩාව වෙනස්ම මාවතකට රැගෙන යාමට සමත් වූ නිසාවෙනි. ඒ කීර්තිමත් ක්‍රිකට් තරු අතර දඟ පන්දුවෙන් දස්කම් විස්කම් පෑ අපූරු තරුවක් තමයි අද මේ විශේෂාංගයට ඇරැයුම් ලැබුවේ.

මේ නොවැම්බර් මාසය වන විට ඔහු සිය ක්‍රිකට් දිවියෙන් සමුගෙන වසරක් ගෙවී හමාරය. නමුත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාව තුළ තම නාමය සදා නොමැකෙන ලෙස සනිටුහන් කළ හෙතෙම ක්‍රීඩා ලෝලීන්ට නම් කිසිවිටෙකත් අමතක නොවෙනා තරුවකි.

හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් එහෙමත් නැතිනම් කවුරුත් හොඳින් දන්නා හඳුනන රංගන හේරත් නම් වූ ඒ අපූරු ක්‍රිකට් ක්‍රීඩකයාගේ අලුත්ම තොරතුරු පිළිබඳයි මේ කතාබහ.

ඉතින් රංගන කොහොමද ජීවිතේ ?

“ජීවිතේ හොඳයි. සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතු කරමින් කාලය ගත කරනවා''

ඒ කියන්නේ මේ දිනවල විශේෂ වැඩ කටයුතු කිසිවක්ම නැහැ

“මෙහෙමයි.... මම රැකියාව කරන්නේ සම්පත් බැංකුවේ. එහි ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරුවකු විදිහට කටයුතු කරන අතරතුරේ සම්පත් බැංකු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ගැනත් සොයා බලනවා.

විශේෂයෙන්ම මේ දිනවල වෙළෙඳ සේවා තරග පුහුණුවීම් සිදුකෙරෙනවා. මේ කණ්ඩායමේ පුහුණුකරු කපිල වීරසිංහ සමඟ එකතු වෙලා තමයි ඒ කටයුතු සිදු කරන්නේ.

ඊට අමතරව මම දැනට ලෙවල් 1, 2 සහ 3 කියන කෝචිං පාඨමාලා කරලා තියෙනවා. පුහුණුකරුවකු හැටියට විශේෂයෙන්ම දඟ පන්දු යැවීම පිළිබඳ විතරයි මෙහිදී මගේ අවධානය යොමුවන්නේ. නමුත් තාම ඇකඩමියක් එහෙම පටන් අරගෙන නැහැ.”

ඒ කියන්නේ අනාගතයේ දී අපට ඔබව පුහුණුකරුවකු විදිහට ක්‍රීඩා පිටියේ දකින්න පුළුවන් වෙයි ද?

“මෙහෙමයි, තාම මගේ එහෙම තීරණයක් හෝ ලොකු බලාපොරොත්තුවක් නැහැ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරනවා කියා. මොකද මම තාම ක්‍රිකට්වලින් සමු අරගෙනත් වසරක විතර කාලයක් තමයි ගතවුණේ. මගේ ජීවිතේ වැඩිම කාලයක් ගතවුණෙත් මේ ක්‍රිකට් එක්ක. ඉතින් ඉදිරි කාලයේදීත් ක්‍රිකට් එක්කම කාලය ගත වෙන්නත් ඉඩ තියේවි.”

රංගන අපි ඔයා ක්‍රිකට්වලට අවතීර්ණ වුණු කාලය වගේම ඔයාගේ ළමා කාලය ගැනත් කතා කරමු.

“මම ඉපදුණේ පොල්ගහවෙල, වඩුවාව කියන ගමේ. මුලින්ම පාසල් ගියෙත් පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් පාසලට. ඊටපස්සෙ නාරම්මල මයුරපාදයට සහ කුරුණෑගල මලියදේව විද්‍යාලවලට ඇතුළත් වුණා.

මම දන්නා දවසේ ඉඳන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හරියට ආසා වුණා වගේම ආදරය කළා. ඉතින් පුංචිම කාලේ ඉඳන් කි‍්‍රකට් සෙල්ලම් කළා. නමුත් ලෙදර් බෝලයකින් ක්‍රිකට් කියන ක්‍රීඩාවේ පුහුණුවීම් ආරම්භ කළේ නම් නාරම්මල මයුරපාද විදුහලේ දී. එහිදී මගේ ගුරුවරයා වුණේ ලාල් දිනපූර්ණ මහතා. ඊටපස්සෙ මලියදේව පාසලේ රොහාන් ධීරසූරිය ගුරුතුමා තමයි මගේ දක්ෂතා හොඳින් හඳුනාගෙන මාව ඒ පාසලට ගත්තේ. ඇත්තටම ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කිව්වොත් මම නිවැරැදියි.

මම ක්‍රිකට් ගහන්න කියලා මුලින්ම සම්බන්ධ වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට. ඊටපස්සේ ව්ඛ්ඛ්ඡ්, මුවර්ස් සහ කුරුණෑගල දී ක්‍රීඩා සමාජ දෙකකටත් සම්බන්ධ වෙලා හිටියා. අන්තිමට මම සෙල්ලම් කළේ ටැමිල් යූනියන් එකට. 2010 ඉඳන් 2018 වෙනකම් මම ඒකේ හිටියා.”

1999 දී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මගේ මුල්ම තරගය.

2019/12/04 තරුණි බලන්න

ඡායා -  ශාන් රූපස්සර