මගේ විහිළුව ඇත්තක් වෙලා සුනාමි හි කල්‍යාණි වෙන්න ලැබුණා

ජනවාරි 8, 2020

සම්මානනීය රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජා

මහ මුහුද හරිම පුදුමාකාරයි. වෙලාවකට නිසලව රළ නඟන එය, තවත් විටෙක චණ්ඩව හැසිරෙනවා. එය හරියට ජීවිතය වගේ. මහ මුහුද දෙස බලා සිත සනසා ගන්නට අප බොහෝවිට පෙලඹිලා ඉන්නෙත් ඒ නිසාමයි. එහෙත් ජීවිතය සනසන මහ මුහුද 2004 වසරේදී අපට ලබා දුන්නේ ජීවිතයේ අමතක නොවන අමිහිරි අත්දැකීමක්.

එම වසරේ දෙසැම්බර් මස 26 වැනි දින කිසිවකුත් නොසිතූ පරිදි සිදුවූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයින් හතළිස් දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි කළේය. තුවාල ලැබූ ගණන විසි දහසකට අධිකයි. ඒ අතර අතුරුදන් වූවන්ද බොහෝ දෙනෙකි.

මුළු දිවයිනම මළගෙයක් කළ ඒ රුදුරු සුනාමි ව්‍යසනයේ අමිහිරි මතක අදවන විට බොහෝ දෙනකුගේ සිත් තුළින් පහව යමින් තිබුණත් ඒ මතක නැවත අලුත් කරනු ලැබුවේ පසුගියදා සිනමාවට එකතු වූ ‘සුනාමි’ සිනමා පටයයි.

ප්‍රවීණ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ මේ සිනමා පටය රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි. මෙහි ප්‍රධාන චරිතයට රංගගනයෙන් දායක වන්නේ නිරංජනී ශන්මුගරාජා නම් දෙමළ ජාතික රංගන ශිල්පිනියයි. ඇය කා අතරත් කතා බහට ලක් වු චරිතයක් වූයේ සුනාමි චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ කල්‍යාණිගේ චරිතය ඉතාමත් සංවේදීව ඉදිරිපත් කිරීමට ඇයට ඇති දක්ෂතාවය නිසාමයි.

මේ ඇයත් සමඟ කළ කතා බහයි.

සුනාමි චිත්‍රපටය නිසා දැන් ඔබව නැවතත් කතා බහට ලක්වෙලා.

ඔව්. ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ සෝමරත්න දිසානායක සර්ට. ඉනිඅවන් චිත්‍රපටයට පසුව නැවත මං ගැන වැඩි දෙනෙක් කතා කරන්න ගත්තේ සුනාමි සිනමා පටය හරහායි.

ඉතිං කොහොමද මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ?

සුනාමි කියන්නේ මගේ හත්වැනි චිත්‍රපටය. පොඩි කාලේ ඉඳන්ම සෝමරත්න දිසානායක සර් ගැන මට ලොකු ගෞරවයක් තිබුණේ. අපි පොඩි කාලේ ඉඳන් හැදුණේ වැඩුණේ සෝමරත්න සර්ගේ ෆිල්ම් බලලා. සරෝජා ඉඳන් එයාගේ හැම ෆිල්ම් එකක්ම බලලයි අපේ ළමා කාලය ගොඩ නැඟුණේ. ඒ චිත්‍රපටිවල දෙමළ සංස්කෘතිය ගැබ් වෙලා තිබුණා. මම දෙමළ කෙනෙක් නිසා මට ඒ දේවල් හොඳින් දැනුණා. සෝමරත්න සර්ව දැක්කම මට මතක් වෙන්නේ සරෝජා ෆිල්ම් එක.

මම නිළියක් වුණාට පස්සේ මට සර්ව ඇසුරු කරන්න ලැබෙනවා. ඉතිං මං සර්ට දකින හැම තිස්සෙම සර්ට විහිළු කරනවා. ඇයි සර් අපිව ෆිල්ම් එකකට ගන්නේ නැත්තේ අපිට රඟපාන්න බැරිද කියලා.

ඔහු එක්ක ඒ තරම් සුහදව කතා කරන්න පුළුවන් වුණේ ඔහු ඒ තරම්ම නිහතමානී පුද්ගලයෙක් නිසයි.

දවසක් ඔහු මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා අලුත් ෆිල්ම් එකක් කරනවා. ඒකේ ප්‍රධාන චරිතය මම කියලා. එහෙම තමයි ඒ විහිළුව ඇත්තක් වුණේ.

හිතපු නැති මොහොතක ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙද්දී නිරංජනීට මොකද හිතුණේ?

ඇමතුම ලැබෙද්දී මම හිටියේ දේවින්ද අයියගේ ‘ගිරි වැසිපුර’ චිත්‍රපටයේ රූගත කිරිම් අතරතුර. සර්ගේ නම්බර් එක ෆෝන් එකේ දකිද්දී “ඇයි සර් මට කෝල් කරන්නේ” කියලත් එකපාරම හිතුණා. සර් කිව්වා නිරංජනී හැමතිස්සෙම මගෙන් අහනවනේ කවදද ෆිල්ම් එකකට ගන්නේ කියලා. ඔන්න ඔයාව ගන්න යන්නේ කියලා කියද්දී මට හිතාගන්නවත් බැරි වුණා. මොකද සර් කිව්වේ කියලා ආයතේ මම අහද්දී “මගේ අලුත් ෆිල්ම් එකට ඔයාව ගන්නයි කතා කළේ. මේකේ ප්‍රධාන නිළිය ඔයා. ඒ වගේම චරිත ලිස්ට් එකේ පළමුවැනියටම තෝරගත්ත කෙනා කියලා කිව්වා. මට මාව කොනිත්ත ගන්න හිතුණා. මොකද මේක හිනයක් ද කියලා හිතුණ නිසා.

මේ අවස්ථාව හිමිවීමට විශේෂයෙන් බලපෑ කාරණා මොනවද?

හැමදේටම වාසනාව කියන දේ තියෙන්න ඕනෙ. මම දමිළ ජාතික රංගන ශිල්පිනියක්. ඒක මට අභියෝගයක්. ලංකාවේ සිනමාව ඇතුළෙ සිංහල නිළියො ගොඩක් ඉන්නවා. සිංහල නිළියො ඉන්න මේ ක්ෂේත්‍රය ඇතුළත මට ලැබෙන එකම එක අවස්ථාව වුණත් මාරම අවස්ථාවක් කියලයි මම කියන්නෙ. දක්ෂතාව හැමෝටම තියෙන දෙයක්නෙ. මම හැම වෙලාවෙම හිතන්නෙ මගේ දක්ෂතාව වගේම වාසනාව නිසයි මේ දෙවල් ලැබෙන්නෙ. ඒකට හේතුව මට ලැබිල තියෙන විදිහෙ අවස්ථා වෙන දමිළ නිළියකට ලංකාව තුළ ලැබිල නැහැ.

සුනාමි චිත්‍රපටයෙන් නැවතත් සුනාමිය මතකයට නැඟෙනවා. එවැනි චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙද්දී ඒ රූගත කිරීම් කරද්දී නිරංජනීට මොකද හිතුණේ?

රූගත කිරීම් කළේ මීගමුව ප්‍රදේශයේදී. චිත්‍රපටයේ සුනාමි කොටස රූගත කළේ අනිත් කොටස් සියල්ලම අවසන් වූවට පසුවයි. ඒ කොටස කරන්න මම බය වුණා. ඒ ලොකේෂන් එක හදලා තියෙන විදිහ දැක්කම මගේ ඔළුව අවුල් වුණා.

මම පීනන්න දන්නෙත් නැහැ. හැබැයි මේ වැඩේට තිබුණ ආසාව නිසාම පීනන්න දන්නව කියල බොරුවක් කියලා තිබුණේ. ඒත් මං පීනන අභියෝගයත් කොහොම හරි කරනව කියල හිතුවට ඒ ලොකේෂන් එකට බය හිතෙනවා.

2020/01/08 තරුණි බලන්න

 

ටෙනිසන් එදිරිසිංහ

හැඩගැන්වීම

නිපුණ ඩී. මධුශංක

සැලෝන් ඩ්‍රීම් බ්‍රයිඩ්ස්